Home Business විදෙස් ආයෝජකයන් අපේ රට ගැන හිතන හැටි

විදෙස් ආයෝජකයන් අපේ රට ගැන හිතන හැටි

2 second read
0
0
1,210
global_investments_nightowls_lk

amila_muthukutti_nightowls_lk

ගෝලීයකරණය වූ ආර්ථික පරිසරයක් තුළ කිසිදු රටකට තනිව සංවර්ධනය කරා පිය නැගීමට නොහැකි බව සත්‍යයකි. ලෝකයත් සමඟ ආර්ථිකමය වශයෙන් සම්බන්ධ වීමේදී විදේශ ආයෝජන වලට හිමි වන්නේ වැදගත් ස්ථානයකි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි මැදි ආදායම් ලබන රටකට සංවර්ධනය කරා ළගා වීමට ඍජු විදේශ ආයෝජන අත්‍යවශ්‍ය සාධකයකි. ඍජු විදේශ ආයෝජන යනු කිසියම් රටක් තවත් රටක දීර්ඝ කාලීන වශයෙන් ආයෝජනය කිරීමයි. මෙම ක්‍රියාවලියේදී ප්‍රාග්ධනය, තාක්ෂණය සහ විශේෂඥ දැනුම ආයෝජක රටෙන් ආයෝජනය ලබන රට වෙත හුවමාරු වේ. මෙහි ඉතිහාසය දෙස බලන විට පෙනී යන්නේ සංවර්ධිත රටවල් විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල පවතින ස්වභාවික සම්පත් සහ ලාභ ශ්‍රමය ඉලක්ක කර ගනිමින් ඒවායේ ආයෝජනයන් සිදු කළ බවයි. උදාහරණයක් ලෙස ලංකාවට ඇගළුම් කම්හල් පැමිණෙන්නේද මෙහි ප්‍රතිපලයක් ලෙසටය. කෙසේ වෙතත් වර්තමානය වන විට මෙම තත්වය වෙනස් වෙමින් පවතින අතර එම නව ප්‍රවණතා හඳුනා ගනිමින් රට සංවර්ධනය කිරීම රජය සතු කාර්යභාරය වේ.
ඉදිරි වසර තුන ඇතුලත ඇමෙරිකානු ඩොලර් බිලියන පහක් වටිනා ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට රජය විසින් සැලසුම් සකස් කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා වලට අනුව 2015 වසරේ ඇමෙරිකානු ඩොලර් මිලියන 969.7ක ඍජු විදේශ යෝජනා ශ්‍රී ලංකාව වෙත ගලා ආවේය. නමුත් මෙය 2014 වසරේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1528.4 ක් විය. එනම් ප්‍රතිශතයක් ලෙස 36.6% ක ආයෝජන පහත වැටීමක් පසුගිය වසර තුල දක්නට ලැබිණ. තවද නිෂ්පාදන අංශය වෙත ගලා ආ විදේශ ආයෝජන ප්‍රතිශතයක් ලෙස 23% පහත ගොස් තිබේ. අනෙකුත් අංශ වලටත් වඩා නිෂ්පාදන අංශය වෙත ගලා එන ආයෝජන දිරි ගැන්විය යුත්තේ එය නැවත අපනයනය කිරීමෙන් අපනයන අංශයද ශක්තිමත් වන බැවිනි. පසු ගිය වසරේ තත්වය මෙසේ වුවද මෑතකදී ඇමෙරිකානු සමාගමක් වන IHS විසින් කරන ලද සමීක්ෂණයකට අනුව ආසියානු පැසිෆික් කලාපයේ ආයෝජනය කිරීමට යෝග්‍යතම රටවල් දහය අතුරෙන් එකක් ලෙස ශ්‍රී ලංකාව නම් කරන ලදී. මෙවැනි ආර්ථික වටපිටාවක් තුල පවතින දුෂ්කරතා මග හරවා ගනිමින් ඇමෙරිකානු ඩොලර් බිලියන පහක ඉලක්කය වෙත ලගා වන්නේ කෙසේද යන්න සාකච්ඡා කළ යුතුව ඇත.

ශ්‍රී ලංකාව පමණක් නොව කලාපයේ අනෙකුත් රටවල්ද තමන් වෙත විදේශ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමේ තරගයක නිරත වන මොහොතක ශ්‍රී ලංකාවට ඇති සාපේක්ෂ වාසිය (comparative advantage) කුමක්ද යන්න අවබෝධ කර ගැනීම වැදගත් වේ. කලාපයේ අනෙකුත් රටවල් මෙන් නොව ලංකාවේ ජනගහනයේ සාක්ෂරතාවය ප්‍රතිශතයක් ලෙස 92.2% වේ. මෙහිදී සඳහන් කළ යුතු වැදගත්ම කරුණ වනුයේ ශ්‍රී ලංකාවේ ඇගලුම් කර්මාන්තශාලා පිහිටවූ කාලයේ මෙන් නොව වර්තමානයේ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට හුදු සාක්ෂරතාවයෙන් ඔබ්බට යමින් නවීන තාක්ෂණික දැනුමින් සන්නද්ධ ශ්‍රම බලකායක අවශ්‍යතාවය දැනෙමින් පවතින බවයි. තවමත් රාජ්‍ය විශ්ව විද්‍යාල වලින් කළමනාකරණ සහ තාක්ෂණික විෂයන් ප්‍රගුණ කළ උපාධිධාරීන් බිහි වන්නේ අඩු වශයෙනි. එසේම ව්‍යාපාර ක්ෂේත්‍රයේ නිළ භාෂාව වන ඉංග්‍රීසි භාෂාව කතා කරන තරුණ වෘත්තිකයන් සිටින්නේද අතලොස්සකි. ඇගලුම් සම්බන්ධ ආයෝජනයන් ආකර්ෂණය කර ගැනීමේ විශේෂ වාසි සහගත තත්වයක් බංග්ලාදේශය වැනි රටවලට පවතින අතර එම නිසා ශ්‍රී ලංකාව නව කර්මාන්ත පිළිබඳව අවධානය යොමු කළ යුතුය. සම්ප්‍රදායික විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ ක්‍රමවේදයන්ගෙන් බැහැරට යමින් ශ්‍රම සූක්ෂම ආයෝජනයන් වෙනුවට ප්‍රාග්ධන සූක්ෂම ආයෝජනයන් ආකර්ෂණය කර ගැනීමට අවධානය යොමු කළ යුතුය. තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් අසල්වැසි ඉන්දියාව විශාල ඉදිරි පියවරක් තබන විට රටක් ලෙස අප තවමත් සිටින්නේ ප්‍රාථමික අදියරේය.

අතීතයේ පැවති බොහොමයක් වාසි සහගත තත්වයන් කාලයත් සමග වෙනස් වුවද තවමත් නොවෙනස්ව පවතින එසේම ආයෝජකයන් ලංකාව දෙස අවධානය යොමු කිරීමට ප්‍රධානතම හේතුවක් වන්නේ ශ්‍රී ලංකාව සතු ස්වභාවික පිහිටීමයි. මෑතකදී ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය මගින් කරන ලද සමීක්ෂණයක් මගින් හෙළි වූ කරුණක් වනුයේ ශ්‍රී ලංකාව වෙත විදේශ ආයෝජකයන් ඇද ගැනීමට ප්‍රධානම හේතුව රටෙහි පවතින උපායමාර්ගික පිහිටීම සහ නැගෙනහිර සහ බටහිර මුහුදු මාර්ග වලට ප්‍රවේශ වීමට ඇති පහසුවයි. සමීක්ෂණයට සහභාගී වු ආයෝජකයන්ගෙන් තුනෙන් එකකටත් වඩා වැඩි පිරිසක් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ සිට කලාපීය වෙළඳපළවල් වෙත ප්‍රවේශ වීමට ඇති පහසුව තම ආයෝජන තීරණ ගැනීමේදී වැදගත් වු බවයි. දේශපාලන ස්ථාවරත්වය, නිෂ්පාදනයේ අඩු පිරිවැය, යටිතල පහසුකම් වල ගුණාත්මක බව සහ ආර්ථික ප්‍රතිපත්ති වල පවතින නිරවුල් බව ආදීය ආයෝජකයන් ලංකාව තුල ආයෝජනය කිරීමේදී අවධානය යොමු කළ කරුණු බවට මෙම සමීක්ෂණයේදී හෙළි විය. ආයෝජන තීරණ වලදී බදු සහන වැදගත් වන බව ප්‍රකාශ කළේ සහභාගී වූවන්ගෙන් 6% පමණි. මෙමගින් පැහැදිලි වන්නේ ආයෝජන වෙනුවෙන් අනෙකුත් සාධක හිතකරව පවතී නම් බදු සහන ලබා දෙන්නේද නොදෙන්නේද යන්න එතරම් තීරණාත්මක නොවන බවයි. මෙහිදී සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් 21% නියෝජනය කළේ නිෂ්පාදන ක්ෂේත්‍රයයි. නමුදු පසු ගිය වසරේ විදේශ ආයෝජන දෙස නැවත වරක් අවධානය යොමු කරන විට පෙනී යන්නේ වැඩිම විදේශ ආයෝජන ප්‍රමාණයක් යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ඇදී ආ බවයි. පොර්ට් සිටි ව්‍යාපෘතිය, අධි වේගී මාර්ග සහ අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය ආශ්‍රිත ව්‍යාපෘතීන් සඳහා චීනය ප්‍රමුඛ රටවලින් ඇදීආ විදේශ ආයෝජන මෙයට බලපෑවේය.

ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම රටක් සංවර්ධනය කිරීමට ඇති තිරසාරම උපායමාර්ගය ලෙස දැක්විය හැකිය. ශ්‍රී ලංකාව ණය බරින් මිරිකී සිටින මෙවැනි අවස්ථාවක යෝග්‍ය වන්නේ තව තවත් ණය ලබා ගැනීම නොව ඒ වෙනුවට විදේශ ආයෝජන රට වෙත ආකර්ෂණය කර ගැනීමට කටයුතු කිරීමයි. විශේෂයෙන්ම යටිතල පහසුකම් සංවර්ධනයට වඩා නිෂ්පාදන හා සේවා අංශ වෙත විදේශ ආයෝජන ගලා එන්නේ නම් එමගින් රටේ අපනයන අංශය ශක්තිමත් වනු ඇත. තවද පෞද්ගලික අංශයේ රැකියා වලට සරිලන ශ්‍රම බලකායක් බිහි කිරීම වෙනුවෙන් අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදනයේ කිසියම් වෙනසක් සිදු කළ යුතු කාලය ද මෙය බව පෙනේ. ප්‍රමාණයටත් වඩා රාජ්‍ය සේවකයන් පිරිසක් නඩත්තු කරන රටක් ලෙස ශ්‍රී ලංකාවට කොතරම් දුරක් යාමට හැකි වේ ද යන්න ප්‍රශ්න කළ යුතුව ඇත. එම නිසා පෞද්ගලික අංශය විදේශ ආයෝජන තුලින් තවත් ශක්තිමත් කළ යුතුය. මෙය දීර්ඝ කාලීන වැඩ පිළිවෙලක් වුවද තිරසාර එකක් වනු ඇත. අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍ර වලට විදේශ ආයෝජන ගලා ඒමෙන් රටේ මානව සම්පත සංවර්ධනයටද එය හේතු වනු ඇත. අවසාන වශයෙන් කිව යුත්තේ රටේ සංවර්ධනය සහ විදේශ ආයෝජන එකිනෙකට බැදී පවතින බවයි. මෙනිසා විදේශ ආයෝජන රටට හිතකර ලෙස මෙහෙයවීමේ වගකීම රජය සතු වේ.

Load More Related Articles
Load More By NightOwls
Load More In Business

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

2017 ට ආයුබෝවන්

සටහන – සහකාර කථිකාචාර්ය නාලක ජයසේන වසරක් ගෙවී වසරක් ගතවන්නේ විශ්වයේ රිද්මය අපට පසක් …