Home Art ගුවන් ටිකට් පත එපා කියා ගුවන ජයගත් සිඟිත්තී – නන්දා මාලිනී

ගුවන් ටිකට් පත එපා කියා ගුවන ජයගත් සිඟිත්තී – නන්දා මාලිනී

0 second read
0
1
5,105
nandamalani_nightowls_lk

“මම පුංචි කාළේ ගුවන් විදුලියේ එයාර්ශිප් කියලා ගායනා තරගයක් තිබුණා.  අද වගේ සුපර් ස්ටාර් රියැලිටි වැඩසටහනක් නෙවෙයි. ගුවන් විදුලියේ ආරියසේන මිල්ලවිතානාච්චි සහ පොස්පර් ප්‍රනාන්දු කියන මහත්ත්වරුන්ගේ උත්සහයක්. මේ තරගයේදි මම පළවෙනි තැන ආවා. මට තෑග්ග විදියට ලැබුනේ බොම්බායට යන්න ගුවන් ටිකට්පතක්.අපි හරි දුප්පත්, කන්න නෑ අපිට,අදින්න නෑ. තාත්තා ඉඳිකටු ඇන ඇන අපිට කන්න දෙන්නේ. ඉතින් කොහොමද අපි රට රට වල යන්නේ?,” බොහෝ දෙනා දන්නා නන්දා මාලිනිය බොහෝ දෙනෙක් නොදන්නා කතාවක් කියන්නට සැරසුනේ ඇය සංගීත පන්ති පවත්වාගෙන යන නුගේගොඩ සංගීත ආශ්‍රමයේ ඈඳි පුටුවක වාඩි ගෙනය. නිරන්තරවම ඇය සරසන සුදු සාරිය මෙන්ම ආශ්‍රමයද සරළය.

ඇය නොනැවතී කියන කතාවද ගායනයකට සමය. “ඒ ගමන මම තාත්තටත් කිව්වා අපට බොම්බායේ යන්න බැරි නිසා අපි මේකට සල්ලි මාරු කරගමු කියලා. මට හොඳට මතකයි ඔය කොටියෙක් ඉන්න ඔරලොසු කණුව ගාවයි ඒ කන්තෝරුව තිබුනේ. තාත්තත් එක්ක මම ගියා එතනට. මමමයි ඒ මහත්තුරුත් එක්ක කතා කලේ. ‘මහත්තයා, අපි දන්නේ නෑ මේවයෙ යන්න, අපිට සල්ලි නෑ. මහත්තයලට පුලුවන්නම් මේක අරගෙන සල්ලි දෙන්න.’ මම කිව්ව දේ අහලා ඒ මහත්තුරු අපට සල්ලි දුන්නා. විනාඩි පහළවක්වත් ගියේ නෑ. ඒ අය තේරුම් ගත්තා අපේ කතාව.”

“සල්ලි ලැබුණු ගමන්ම මම තාත්තට කිව්වා අපි මොනවා හරි බොමු කියලා. පාට පාට බීම අපට කඩවල පේනවා. ඒ ගමන ලඟ තිබුණු කඩේකින් අපි ලොකු සරුවත් දෙකක් බීවා. ඉන් පස්සේ යන ගමන් මම තාත්තාට කිව්වා අපි ඉස්තිරික්කයක්  ගමු කියලා. මම එහෙම ඇහුවෙ මගේ තාත්තා පොල් කටු අඟුරු දාපු ඉස්තිරික්කයකිනුයි ඒ කාලේ මහපු කෝට් මදින්නේ. කෝට් බාස් කියලයි තාත්තට ඒ කාලේ කිව්වේ. පුංචි බම්බු කෑල්ලකුත් තියාගෙන ඒකට පිඹිනවා. එකෙන් එන අළු මූණේ හැමතැනම.  මම දකිනවානේ හැමදාම මේක. පුංචි වුනත් මට ඒ අවශ්‍යතාවය තේරුණා. ඒ ඇහුවම තාත්තා මට හිනාවුණා.  ‘උඹට පිස්සු ද? ඉස්තිරික්ක ගත්තට අපට කෝ ලයිට්?’ඔන්න එතකොටයි මට මතක් වුනේ අපට ලයිට් නැති වග.ඉතින් මම කිව්වා. ‘අපි ලයිටුත් ගමු කියල කොටහේනේ ගෙදරට.’ ඒ සල්ලී වලීන් ඔන්න ගෙදරට ලයිටුත් ගත්තා.” ඉස්තිරික්කයකුත් ලයිටුත් ගත් පසුද තවත් මුදල් ඔවුන් අත ඉතිරි වී තිබුණි. පුංචි නන්දාට ඉතිරි මුදලින් සපුරා ගත හැකි තවත් අවශ්‍යතාවයක් සිහි වුණි.

“තාත්තා වැඩ ඉවර කරද්දී හැමදාම රෑ වෙනවා, අම්මා තේ කොප්පේ හදලා මොකකින් හරි වහලා තියනව.වැඩ නිසා තේක සීතල වෙනවා. පොඩි වුනත් මේක මට තදින් දැනිලා තියෙන්න අති, ඉතිරි සල්ලි වලින් තාත්තට උණු වතුර බෝතලයක් ගත්තේ.”

අතීත කතාව කියා නිම කළද එයට එක්කළ යුතු වර්තමාන කතාවක් ද ඇය සතු විය. “මේ සිද්ධිය මම පස්සේ කාළෙක පත්තරෙකට කිව්වා.ඒ ලිපිය පළවුනාත් එක්කම හැරෙන තැපෑලෙන් ලියුමක් එනවා වික්ටර් රත්නායකයන්ගෙන්, ‘මට හරි ආසයි මම දෙවෙනියාට ආපු එක ගැන’ කියලා. මම දන්නේත් නෑ ඒ දවස් වල මාත් එක්ක තරගයකට වික්ටර් හිටපු බවක් වත්,” වික්ටර් රත්නායකයන්ගේ හෘද්යාංගම ලිපිය පිළිබඳව ඇය සංවේගය පළකළාය. රම්‍ය තීර්තයේදි ඔහු හා එකම වේදිකාවක ගී ගයන්නට ලැබීම තමන් ලද භාග්‍යයක් බව ඈ වැඩිදුරටත් පැවසුවා ය.

නන්දා මාලිනිය උපන්නේ 1943 වසරේදීය. ජීවිතයේ සැත්තෑ විය පසු කරමින් සිටිය ද ඈ අදත් එදා මෙන්ම ශක්තිමත් ය. එදා මෙන්ම අදත් ඇය ගයන ගීත රසිකයන්ගේ හදවත් තුල කිඳා බසින්නේ වයස් පරතරයකින් තොරවය. “අපි පවුලේ නව දෙනයි. මගේ තාත්තාටේලර් කෙනෙක්. අපි ඉතාමත් අඩු පහසුකම් සහිතව ජීවත් වුණු ඉතාමත් දුප්පත් පවුලක්,නමුත් මගේ පියා නිතරම උත්සහ කලේ අපිටහොඳම අධ්‍යාපනයක් ලබා දෙන්න.කොච්චර නැති බැරි උනත් ඔලුව කෙලින් තියාගෙන ඉන්න විදිය තමයි කියල දුන්නේ. සමහර විටඅපි එක වේලයි කෑවේ,අපි හොඳට අන්න තිබ්බෙ නෑ.නමුත් ඒවා නෙවෙයි තාත්තාගේ ප්‍රශ්න වුනේ. තාත්තා හැම වෙලේම අපිටඋගන්නන්නයි උත්සහ කළේ,” ඇය ළමා කාලයේ තවත් තොරතුරු බෙදා ගන්නට සූදානම් ය.

ඇගේ පියා නමින් වින්සන් පෙරේරා ය. “අපේ තාත්තා මහ පුදුම පුද්ගලයෙක්. එයා අපිට නියම කරල තිබුනා රෑ කෑමට කලින්හැමදාම බුදුන් වදින්න. අපේ ලොකු අක්කා තමයි අපට කෑම බෙදන්නේ. අපිට ඇහෙනවා කුස්සියේ බෙලෙක් පිඟන් එකට වැදෙන සද්දේ.බෙදලා දෙන බත් එක මදි උනත්, වැඩි උනත් එච්චර තමයි. ආයේ ඉල්ලන්න බැහැ.ඉල්ලන්න නෑ.බඩගිනි වැඩිදාට අපි ඉක්මනින් ඉක්මනින් ගාථා කියනවා. ඒ වගේ දාට ඉවර වෙලා ඇවිත් තාත්තාට වැන්දාම තාත්තා අපිව හරවලා යවනවා, ‘අද නම් ගාථා කිව්වා හොඳ නෑ.ගිහින් ආයේ කියලා එන්න’ කියලා.කොයි විදියට හරි ගාථා ටික සන්සුන්ව කියන්න ඕනේ, නැත්තම් බැණුම් තමයි.ලොකු වුනාමයි තෙරුනේ අපිට තාත්තාගේ විදිය, ” ඈ විස්තර කරමින් කීවාය. “තාත්තා කනකොට හැමදාම බත් මිටක් සතුන්ට වෙන් කරනවා.කාල ඉවරවෙලා ඒ බත් මිට සතෙකුට හරි කුරුල්ලේකුට හරි දානවා. මටත් ඒ සිරිත පුරුදු වෙලා තියෙන්නෙ තාත්තාගෙන්. ” ඇය පිය ගුණ පුනපුනා සිහි කරන්නී ය. “අද මම ශක්තිමත්. තාත්තා නිසා තමයි අද මම ශක්තිමත්ව ඉන්නේ,” තම පියා තමන් දිවියේ කිඳා බැස ඇති බවත්, ඔහු තමන්ට පුරුදු කළ ජීවිතය නිසා වර්තමානය සාර්තක වූ බවත් ඇය මතක් කරන්නේ ගෞරවයෙනි.

ඇය අද ගත කරන දිවිය එදා අභියෝග වලින් ලද පන්නරය මත ඉදි වුවකි. “මම හිතන්නේ අපි සෑහීමකට පත්වෙන්න ඕනේ අපිට ලැබෙන දේ සම්බන්ධව. ඒක තමයි ගෑණියකගේ පවුල් ජීවිතය හරියන්න හරි, සමාජ ජීවිතය හරියන්න හරි, එයාගේ ඉදිරි දැක්ම හරියන්න හරි, එයා එයාගේ සීමාවෙ ඉන්න දැන ගන්න ඕනේ.පොඩි දවස් වල අද ඉස්කෝලෙට ඇඳපු ඇඳුම රෑට හෝදලා මදිනවා,අතිනුයි මදින්නේ, අපිට ඉස්තිරික්ක තිබුනෙ නෑ. අතින් මැදලා කොට්ටෙ යටින් තියාගන්නවා. මට දැනටත් පොඩි දෙයයි තියෙන්නෙ,මම සුදු විතරයි අදින්නේ; පුලුවන් තරම් සරලව ජීවත් වෙන්නයි තවමත් මම උත්සහ කරන්නේ. මේ විදියට කරන්න කියලා මට මගේ දරුවෙකුටවත් බල කරන්න බැහැ,ඒ ජීවිතය එන්න ඕනේ තමන්ගෙන්මයි. මගේ ජීවිත පසුබිමෙන් තමයි මට මේ සරල ජීවිතේ පුරුදු වුනේ.”

දේශපාලන අරගලයක් තිබෙන වකවානුවක ‘පවන’ වැනි සංගීත ප්‍රසංග සඳහා ගීත ගැයීමට අවශ්‍ය ශක්තියද තමන්ට ලැබුනේ තමන් පසුකල මේ අභියෝගකාරී ජිවිතයෙන් බව ඇය පවසයි. “ඇත්තටම මට බයක් අති වුනේ නැහැ පාලන තන්ත්‍රයේ අඩුපාඩු ගැන ගීතකියන්න. අපි දරිද්‍රතාවයෙන් පෙළුනු ළමයි. අපි හැමදාම ඒ අයගේ දුකයි දැක්කේ.හැටේ වත්තෙ අපි ඉන්න කාලේ අපේ තාත්තා මහලා දුන්නු පුංචි පුංචි කලිසම් අරගෙන ගෙයක් ගෙයක් ගානේ යනවා. මිනිස්සු අපිව ගන්නේ නැහැ ඇතුලට. මේ වේදනාව අපිට හරියට දැනුනා. පවනෙන් අපි කතා කලෙත් ඔය දේම තමයි. මගේ ගායනය සමාජයේ සුභ සිද්ධිය සඳහා විය යුතුයි. ඒ නිසාම තමයි, පවන එ කාලේ බිහි විය යුත්තක්ම වුනේ. ඒ කාලේ රටේ වාතාවරණය ඉතාමත් දරුණු ලෙස අයුක්තිය අසාධාරණය රජ වෙලා තිබුණු කාළයක්. නිකරුණේ ජිවිතය නැති කරගන්න වුවමනාවක් නැති නිසා මට 89 අවුරුද්දේ රටින් පිට වෙලා ඉන්නත් සිද්ධ වුණා. මරණය හොඳ විඩියට සිද්ධ වෙනවා නම් මරණයට මුහුණ දෙන්න කමක් නෑ,” ඇය ඇගේ ගීතයකින්ම පිලිවදන් දුන්නාය.

“දහසක් ඉපදී මිය යන පොළවේ

මමත් මියෙන්නට උපන් කෙනෙක් වෙමි

මා මළ බව මුලු රටට දැනෙන්නට

මිය යන්නට මා පෙරුම් පුරන්නෙමි…

අපි දැක්කා ඒ කාළයේ තිබුණු තරුණයින්ගේ අසහනය. ඉගෙන ගත්තු ළමයින්ට කිසිදෙයක් නැහැ.එගොල්ලෝ කඩු කිණිසි අතට ගත්තේ ඒකයි. මේ අසාධාරණය අපට පෙනුණා. මේ අයුක්තිය අපට පෙනුණ. ඒ පෙනුණු දේ තමයි අපි ‘පවන’ට ගොනු කලේ. ඒ නිසාම ඒ පාලන තන්ත්‍රයෙන් අපිට පවන කරන්න දුන්නෙ නෑ. එ නිසයි ඉක්මනින්ම ගීත ටික සංගත තටියකට නඟලා ප්‍රසංගය නතර කළේ. පවනේ බීජ තවම තියනවා, ඒ බවත් කියන්න ඕනෑ,” ඇය යමක් නොකියා කියන්නට උත්සහ කළාය. “පවනේ බීජ අඩු වැඩි වශයෙන් තවමත් සමාජයේ හොල්මන් කරනවා. ඒ ගීත අදටත් වලංගුයි.හෙටට වලංගු නොවන ලෙසට කටයුතු වුනොත් එච්චරයි,” ඇය තව දුරටත් පැහැදිලි කළාය.

 

සටහන කුසුමාංජලී තිලකරත්න
ඡායාරූපය චන්දන විජේසිංහ

Load More Related Articles
Load More By NightOwls
Load More In Art

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

Creative Activities for Children by Somalatha Subasinghe Play House

Lanka Children’s and Youth Theatre Foundation (LCYTF) or popularly known as Somalatha Suba…