Home Opinion නොනිමි වකුගඩු සටන

නොනිමි වකුගඩු සටන

2 second read
0
0
20,279
wakudadusatana_nigtowls_lk

සටහන නාලක ජයසේන

nalakajayasena_nightowls_lk

“ගමයි – පන්සලයි, වැවයි – දාගැබයි, රන්ගොයමයි – කහසිවුරයි” සටන් පාඨය කරගත් හෙළ ශිෂ්ටාචාරයේ පසද සුවඳවත් විය. ලක් පොළොව පෙරදිග ධාන්‍යාගාරය විය. කාලයාගේ ඇවෑමෙන් සරුපස නිසරුව ගුණ අඩු බත් ඉදී ජාතියේ නැණ බෙරි විය. නිල්ගොයමට කවි බැඳි රජරට ගොවි පරපුරේ ශරීර කෘශව ජාතික කොඳුනාරටියේ ජානගත පෘෂ්ටිය ක්ෂය විය. ඒ 1990 දශකයේ පදවි ගොවිජනපදයෙන් වාර්තා වූ වකුගඩු රෝගයෙනි. අද ඛේදාන්තයක්ව ඇති මේ හඳුන්වන්නේ හඳුනා නොගත් වකුගඩු රෝගය වශයෙනි. ඉංග‍්‍රීසියෙන් කෲවරෝ හෝ සී. කේ. ඞී. නාමයෙන් ඒ හැඳින්වෙයි. මේ රෝගයෙන් සමාජයට සිදුවන මූලික හානිත‍්‍රයක් මහාචාර්ය කාලිංග ටියුඩර් සිල්වා, මහාචාර්ය සිරි හෙට්ටිගේ ඇතුළු සමාජවිද්‍යාඥයන් කණ්ඩායමක් ඉදිරිපත් කර ඇත. ඒ ජීවිත හානි, නිෂ්පාදනය අවම වීම හා අධික ප‍්‍රතිකාර වියදම්ය. මේ රෝගයට හේතුව කුමක්ද? ෆ්ලෝරයිඞ් හෝ කැඞ්ඩියම් යන රසායන ද්‍රව්‍යද ඊට හේතු ලෙස ඉදිරිපත් වුවද ඒවා සංගතව තහවුරුව නැත. මේ අතර තරුණ ජීවකයකුගේ තීක්ෂ්ණාක්ෂිය මේ වෙත යොමු විය. ඔහු චන්න සුදත් ජයසුමනයන්ය. මහාචාර්ය නලින් ද සිල්වාගේ දර්ශනයෙන් තම චින්තනය සකසාගත් හෙතෙම වකුගඩු රෝගය වෙනුවෙන් කළ සටන ග‍්‍රන්ථාරූඪය. ඒ වකුගඩු සටන කෘතියයි. මේ සටහන එකී ග‍්‍රන්ථයෙන් සමාජ සංකථනයක් නිමැවුමයි.
නිරීක්ෂණනානුසාරයෙන් ඔහු පළමුව මෙම වකුගඩු රෝගයේ භූගෝලවිද්‍යාත්මක ව්‍යාප්තියට අනුව මෙය කොටි ත‍්‍රස්තක‍්‍රියාවකැයි සැක කෙළේය. නමුත් එය සත්‍යේක්ෂණය නොකළ කල්පිතයක් වුවද එයින් ජාතියම මෙවන් අර්බුදයක් ඇති බව දැන ගත්තේය. චන්න මෙයට නලින් ද සිල්වාගෙන් උපදෙස් පතා ඇත. නලින් ද සිල්වා බටහිර විද්‍යාව සෘජුවම ප‍්‍රශ්න කරන්නකු බැවින් මේ පැනයට පිළිතුරු සෙවීමට අපේම ක‍්‍රමයක් තෝරාගන්නට උපදෙස් දී තිබේ. ඒ අනුව භාවනාවෙන් දෙවිවරු සමග සම්බන්ධ වන ප‍්‍රියන්තා සේනානායක මහත්මිය එතුමා හඳුන්වා දී ඇත. ඇය තමාට උදව් කළ හැකි බව පවසා කොන්දේසි ඉදිරිපත් කර තිබේ. ඒ නිර්මාංශව ආරණ්‍යගතව බවුන් වඩන ලෙසය. ඒ ඉටු කළ චන්නට ඇය පවසා ඇත්තේ රෝගය පවතින ප‍්‍රදේශවලින් පස් හා ජල සාම්පල රැුගෙන එන ලෙසයි. මිත්‍යාවක්, අවිද්‍යාවක්, විද්‍යා ප‍්‍රබන්ධයක් යනාදී ලෙස කිසිවකුට අර්ථකථනය කළ හැකි ගවේෂණයක් මෙහිලා සිදුවිය. ඒ ගැන චන්න ලියා ඇත්තේ ” පදවි බෝගස් හංදියේ සිටි මාගේ හිතවතකුද කැටිව අපි පදවි වැවටත් ඒ ආශ‍්‍රිත කුඹුරු කිහිපයකටත් ගෙවතු කිහිපයකටත් ගමන්කර ජල හා පස් සාම්පල කිහිපයක් එකතු කර ගතිමු. මේවාද රැුගෙන අපි එක පිම්මට පදවියේ සිට මාලඹේට පැමිණ ප‍්‍රියන්තා මහත්මියට ලබා දුන්නෙමු. ඇය ඉහළ මාලයට ගොස් පැයකින් පසු යළි පැමිණියාය. හිස් කොළයක් ගත් ඇය රෝගයට හේතු ලෙස විවිධ කරුණු එහි සඳහන් කළාය. ආසනික්ද ඒ අතර විය.” (පිටුව 101) යනුවෙනි. සටනේ ඇරඹුම එයයි. නලින් ද සිල්වා රචිත බටහිර විද්‍යාව ආසනික් සහ දෙවියෝ පොතේ මෙවන් සටහනක් ඇත.” අපේ විද්‍යාවේ නම් අපට සම්‍යග්දෘෂ්ටික දෙවිවරු ආධාර කරති. ජලයේ ආසනික් ඇති බව අවසානයේදී පඬියන්ට අනාවරණය කෙරුණේ නාථ දෙවියන් ප‍්‍රමුඛ දේව කණ්ඩායමේ මගපෙන්වීම යටතේ කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයනාංශයේ ඇති පරමාණුක අවශෝෂණ ප්‍රෙක්ෂාවලිමාපකය යොදාගැනීමෙනි (පිටුව 157)”

පර්යේෂණ අතරතුර චන්නට කැලිෆෝනියා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරත් ගුණතිලක හමුවීම නිසා ආසනික් සමග රසායන විද්‍යාත්මකව දැලිසක් සාදන ග්ලයිපොසේට් නම් රසායනද සොයාගැනීමට හැකිවිය. ඒ ගැන ජාත්‍යන්තර සඟරා රැසෙක පර්යේෂණ පත‍්‍රිකා පළ වූ අතර පර්යේෂණයට ජාත්‍යන්තර සම්මාන හිමිවිය. එක් පුද්ගලයකු ජයසුමනයන්ගෙන් අපූර්ව ප‍්‍රශ්නයක් විමසා තිබේ. එනම් නාථ දෙවියන් පර්යේෂණයට උදව් කර ඇති මුත් පර්යේෂණ පත‍්‍රිකා වල දෙවියන්ගේ නම යොදා නැත යන්නයි. එයට චන්න ජයසුමන වකුගඩු සටන මුහුණු පොතේ තබා ඇති සටහන මෙසේ උපුටා දක්වන්නේ හුදී ජන පහන් සංවේගය සඳහාමැයි. ” යක්කුවත් දෙවියෝවත් පර්යේෂකයෝ හැටියට ක‍්‍රියා කළේ නැහැ. ඒක නිසා එහෙම සඳහනක් කරන්න උවමනාවක් මතු උනෙත් නැහැ. ඒ අය අපට උදව් කළේ පර්යේෂණ පත‍්‍රිකාවේ නමදාගන්න නෙමේ. කුසල් බලාපොරොත්තුවෙන්. අපි ඒ කටයුතු කළා. මගේ ආචාර්ය උපාධි නිබන්ධයේ පිදුම මෛත්‍රෙය බෝධිසත්ත්වයන්ට”.

කෙසේ නමුත් වකුගඩු සටන අවසන් නැත. 2011 වනවිට 18000 – 22000ත් අතර පිරිසක් රෝගයෙන් මියගොස් 30000කට රෝගය වැළඳී ඇත. කෘතියේ 351 පිටුවේ දක්වා ඇත්තේ රෝගය දැන් මොණරාගල හා හම්බන්තොට දිස්ත‍්‍රික්කද්වයේද පැතිර ඇති බවයි. රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, එහි ඖෂධවේදී අධ්‍යයනාංශයේ අංශ ප‍්‍රධාන ආචාර්ය ජයසුමනයන්ගේ අප‍්‍රතිහත ධෛර්ය පැසසිය යුතුය. ඒ අතර කෘතියේ දක්වා නැතත් මේ සටනට මතු බුදුවන මෛත්‍රෙය නාථ දෙවියන් ආශිර්වාද කරන්නේ මන්දැයි හෙළිකළ යුතුයැයි අපි සිතුවේ කවර විද්‍යාඥයකු තැත් කළද හෙළ දිව ජනයාගේ අධ්‍යත්ම විශ්වාස පද්ධතිය බිඳ දමන්නට නොහැකි බැවිනි.
මිනිස් ආයුෂ ක‍්‍රමිකව පිරිහීම අපටද විද්‍යමානය. මෙයාකාරයෙන් මානව ආයුෂ වසර දහය දක්වා අවම වී යළිත් වයස අවුරුදු ලක්ෂය දක්වා වර්ධනය වන බව බුදුහිමි දේශිතය. ක‍්‍රමිකව අවුරුදු ලක්ෂයද පිරිහී උපරිමායුෂ අවුරුදු අසූදහස වන කාලයේ මෛත්‍රෙය බුදුන් පහළ වෙයි. ආයුෂ ඉහළ ගිය කල ඒ මානවයා ජීවත්වන භූගෝලය සත්ත්ව මිත‍්‍ර එකක් විය යුතුය. වසවිසෙන් තොර පොළොවක් බිහිකොට පෘථිවියේ අභ්‍යන්තරම ස්තරයේ පටන් ගුණවත් පසක් ඇති කිරීමේ අභිලාෂය මෙම සටනට ආශිර්වාද කිරීමෙන් මෛත්‍රෙය බෝසතුන් ප‍්‍රධාන දෙවිවරුන් සපුරා ගනිති. තවද රෝගයට කළ හැකි ආධ්‍යාත්මික ප‍්‍රතිකාරයක්ද මෙහි දක්වමු. ඒ වකුගඩු රෝගය වැළඳුණු රෝගීහු හැකිතරම් පිළිවෙත්හි පිහිටා හැකි සෑම දිනකම රාත‍්‍රියේ මෛත්‍රෙය බෝසතුන්ට පහනක් දල්වා එම පිනෙන් තමාගේ රෝගය සුවපත් කරගැනීමට ආශිර්වාද කරන ලෙස ඉල්ලීමයි. ඊටම සමගාමීව කිසිවකුට කළ හැකි විද්‍යාත්මක පර්යේෂණයක්ද යෝජනා කරමි. මෙම ආධ්‍යාත්මික ප‍්‍රතිකාරය ඇරඹීමට පළමුව රෝගීන්ගේ වකුගඩු ස්කෑන් පරීක්ෂණයකට ලක්කොට එහි රෝගී තත්ත්වය සටහන් කර තබාගෙන දෙවනුව මාසයක් දෙකක් මෙම පිළිවෙත ඉටු කර යළිත් වකුගඩු ස්කෑන් පරීක්ෂණයකට ලක්කර බලන්න. ප‍්‍රතිඵලය කුමක්දැයි සටහන් නොකරමි. රෝගීන්ට එක්ව සතියකට වරක් මෙම ක‍්‍රියාව සාමූහිකව කළ හැකිනම් ප‍්‍රතිඵල වේගවත් වනු නොඅනුමානය. සටහන අවසන් කරන්නේ වකුගඩු සටනේ සේනාධිනායක නලින් ද සිල්වාත් සෙන්පති චන්න ජයසුමන ඇතුළු පිරිස පර්යේෂණ අරඹන්නට පෙර රුවන්මැලි සෑය අබියස කළ අධිෂ්ඨානය උපුටමිනි ” මේ සියලූ පර්යේෂණ අපගේ පෞද්ගලික ලාභ ප‍්‍රයෝජනය, ප‍්‍රසිද්ධිය සඳහා නොව රටේත් අහිංසක ගොවිජනතාවගේත් අභිවෘද්ධිය සඳහාම පමණක් වන බවත් ලෝකෝත්තර වශයෙන් මේ කරන සියලූ කටයුතු නිවන් මගට හේතු වාසනා වේවා” ! (පිටුව 109)

(නාලක ජයසේන, සහාය කථිකාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලය, nalaka57@gmail.com)

Load More Related Articles
Load More By NightOwls
Load More In Opinion

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

Creative Activities for Children by Somalatha Subasinghe Play House

Lanka Children’s and Youth Theatre Foundation (LCYTF) or popularly known as Somalatha Suba…