Home Business අපි කොහොමද වෙනස් වෙන්නේ?

අපි කොහොමද වෙනස් වෙන්නේ?

2 second read
0
2
1,259
change-1

 

සටහන- අමිල මුතුකුට්ටි 

amila_muthukutti_nightowls_lknew copyඑකම ගුරුවරයාගෙන් ඉගෙන ගෙන, එකම විෂය නිර්දේශය හදාරා, එකම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයන හැම සිසුවෙකුටම එකම විදියේ ප්‍රතිඵල ලැබෙන්නේ නැත්තේ ඇයි? ඔබේ සිතට නැගෙන පිළිතුර පැහැදිලියි. හැම කෙනෙක්ම එක වගේ මහන්සියෙන් කැපවීමෙන් පාඩම් කරන්නේ නැහැ. අනෙක, හැම කෙනෙක්ම එක වගේ දක්ෂ නැහැ. ඒ ඔබේ පිළිතුර විය හැකියි. සැබවින්ම එය සත්‍යකි. අපි මේ සිද්ධිය දෙස වෙනස් විදියකින් බැලුවොත් අපට පෙනෙන දේ තමයි එකම දේට මිනිසුන් ප්‍රතිචාර දක්වන්නේ වෙනස් විදියට කියන කාරණය. තමන් සතු දැනුම, ආකල්ප සහ පළපුරුද්ද මත පදනම් වෙලා පුද්ගලයන් එකම දේට වෙනස් විදියට ප්‍රතිචාර දක්වනවා.

ටිකක් හිතන්න. කුඩා දරුවෙකුට කෙනෙක් බැණ වැදුනොත් ඔහු අඬයි. තරුණයෙකු නම් නැවත බැණ වැදීමට, නැතිනම් පහර දීමට වුවද ඉඩ තිබේ. නමුත් වයසින්, අත්දැකීම් වලින් මුහුකුරා ගිය වැඩිහිටියෙකු නම් එය ගණන් නොගෙන එතනින් ඉවත්ව යාමට පුළුවන. එකම සිද්ධියට මිනිසුන් ප්‍රතිචාර දක්වන්නේ තමන් ලබා ඇති අත්දැකීම්, හැකියාව සහ දැනුම මත පදනම් වෙමින් බව මෙයින් ඔප්පු වෙනවා.

එහෙම දක්වන ප්‍රතිචාරය අනුව පුද්ගලයන්ට ලැබෙන ප්‍රතිඵල මෙන්ම ප්‍රතිලාභ ද වෙනස් විය හැකියි. එනිසා ගැටළුව ඇත්තේ අප මුහුණ දෙන අවාසනාවන්ත හෝ ශුභදායක සිදුවීම් වල නොව අප ඒවාට ප්‍රතිචාර දක්වන ආකාරය අනුවය. කෙනෙකු මී කුණක් නිසා ධනවතෙකු වන්නේත් තවත් කෙනෙකු ධනය ඇතිව ඉපදුන ද පසු කාලීනව දිළින්දෙකු වන්නේත් පෙර කරන ලද කර්මය නිසා නොව ඔවුන් මුහුණ දුන් සිදුවීම් වලට අනුවණ ලෙස ප්‍රතිචාර දැක්වූ බැවිනි. අපි කොහොමද වෙනස් වෙන්නේ? අනිත් හැමෝම හඬා වැලපෙද්දී, පසුබසිද්දී එවැනි අවස්ථා වලින් සාර්ථකව ජීවිතය ජය ගන්නෙ කොහොමද කියලා අද කතා කරමු.

එක්තරා ප්‍රදේශයක දක්ෂ සුපවේදියෙක් සිටියා. දිනක් ඔහු වෙත පැමිණෙන ඔහුගේ දියණියගේ පැමිණිල්ල වුණේ තමන්ගේ ජීවිතය ඉතාමත් දුක්ඛිත, අවාසනාවන්ත එකක් බවත් තමන් කරන කිසිම දෙයක් සාර්ථක වන්නේ නැති බවත්ය. තම දියණිය මානසිකව තෙහෙට්ටුවට පත්ව ඇති බව තේරුම් ගත් මේ පියා ඇයට ජීවිතය පිළිබඳව වූ පාඩම නිදර්ශනයක් මගින්ම පැහැදිලි කර දීමේ අපේක්ෂාවෙන් ඇයව මුළුතැන් ගෙය වෙත කැඳවා ගෙන ගියා. රත් වී නටන වතුර සහිත භාජන තුනකට තක්කාලි, බිත්තරයක් සහ කෝපි ඇට කිහිපයක් වෙන වෙනම එකතු කළා. ටික වේලාවකින් පසුව එකවර මේ සියල්ල භාජන වලින් පිටතට ගැනුනා. සිදු වී ඇත්තේ කුමක්ද? ඝනව පැවති තක්කාලි නටන ජලය හමුවේ ඉතාම මෘදු මොළොක් වී දුර්වල වී තිබුණා. දියාරු ලෙස පැවති බිත්තරයේ ඇතුළත ඉතාම ඝන වූ අතර කෝපි ඇට ජලයේ දිය වී අලුත් පැහැයක්, සුවඳක් නිකුත් කරමින් තිබුණා.

මෙම නිදර්ශනය ඇසුරින් ජීවිතය විස්තර කිරීමට සූදානම් වූ පියා මෙසේ පැවසුවා. බලන්න, අපේ සමාජයේ ජීවත් වෙන මිනිස්සුත් හරියටම මේ වගේ. සමහරු තක්කාලි වගේ ප්‍රශ්නයක් ගැටළුවක් ආවම දුර්වල වෙලා මෘදු මොළොක් වෙනවා. තවත් අය බිත්තර වගේ ප්‍රශ්න ගැටළු ආවම ඒවාට නොසෙල්වී දැඩිව මුහුණ දෙනවා. නමුත් මේ අතරේ තවත් කෙනෙක් ප්‍රශ්න හමුවේ අලුත් අලුත් දේවල් ලෝකයට දායාද කරනවා. එහෙම අය තමයි මේ දක්වා ලෝකය වෙනස් කළෙත්, ඉදිරියට ලෝකය වෙනස් කරන්නෙත්. ප්‍රශ්නයක් ආවම මටමයි වෙන්නෙ කියල හිතන්නෙ නැතුව හේතු ඵල න්‍යායට අනුව කරුණු කාරණා අවබෝධ කරගෙන එයට සාර්ථකව මුහුණ දීමයි කළ යුත්ත. ලංකාව මේ වන විට මුහුණ පා තිබෙන කසළ ගැටලුව හමුවේ කෙනෙක් දුර්වල වුණා, අසරණ වුණා. තවත් පිරිසක් දැඩි වුණා, තම විරෝධය ප්‍රකාශ කළා. මේ අතරේ ඉතාම කිහිප දෙනෙක් අලුත් සිතුවිලි ඔස්සේ මෙයට විසඳුම් සෙවීමට වෙහෙසෙනවා. මෙයයි මිනිස් ස්වභාවය.

වෙනස් වීමට කෙනෙකුට අවශ්‍ය නම් ප්‍රථමයෙන්ම ඔහුගේ සිතුවිලි වෙනස් කර ගත යුතුයි. වෙනස ඇති වන්නේ තමන් තුළින්මය. වෙනස් වුවාට පසුව පමණි අන්‍යන්ට දැනගත හැක්කේ. වෙනස් වීම ආකාර දෙකකට සිදු විය හැකිය. හොඳ අතට මෙන්ම නරක අතට ද වෙනස් විය හැක. නමුත් අප කතා කරන්නේ කෙනෙකුගේ ජීවිතය ධනාත්මකව යහපත් අතට වෙනස් කර ගැනීම පිළිබඳවයි. වෙනස් වීමට නම් දැනුම, පළපුරුද්ද අවශ්‍ය වෙයි. විශේෂයෙන්ම පොතේ පතේ දැනුමට එහා ගිය ජීවිතය පිලිබඳ දැනුම මෙහිදී අවධාරණය කෙරේ. පොතක් කියවීමෙන්, කිසියම් සිද්ධියකට මුහුණ පෑමෙන්, යමක් දැකීමෙන් හෝ ඇසීමෙන් ම කෙනෙකු වෙනස් වීමට පටන් ගත හැකිය. ඒ ඔහුට ඒ සඳහා අවශ්‍ය දැනුම ලැබුණේ එම සිදුවීම මගින් වීම නිසාය.

හැම කෙනෙක්ටම ජීවිතයේ ප්‍රශ්න වලට, දුෂ්කර අවස්ථාවන්ට මුහුණ පාන්නට සිදු වීම ස්වභාවිකයි. නමුත් ඔබට පුළුවන් නම් ඒ ප්‍රශ්න හමුවේ ඔබේ ප්‍රතිචාරය ධනාත්මකව වෙනස් කර ගන්න, ඔබ සාර්ථකත්වය කරා පිය නගනවා නිසැකයි.

(මෙය මව්බිම පුවත්පතේ FT ව්‍යාපාරික අතිරේකයේ පළ වුවකි)

 

 

Load More Related Articles
Load More By NightOwls
Load More In Business

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

2017 ට ආයුබෝවන්

සටහන – සහකාර කථිකාචාර්ය නාලක ජයසේන වසරක් ගෙවී වසරක් ගතවන්නේ විශ්වයේ රිද්මය අපට පසක් …