Home Opinion කසල කළමනාකරණයේ ආර්ථික වාසි

කසල කළමනාකරණයේ ආර්ථික වාසි

6 second read
0
4
3,250
0.57306600_1459892579_1_large

සටහන: අමිල මුතුකුට්ටි

amila_muthukutti_nightowls_lknew copyවේගයෙන් ඉහළ යන නාගරීකරණය සහ මිනිසුන්ගේ ඉහළ ක්‍රය ශක්තිය තුළින් ඇති වූ කෑදර පරිභෝජන රටාව හේතු කොට ගෙන අද වන විට ලෝකයේ සෑම රටක්ම පාහේ කසල කළමනාකරණය ආශ්‍රිත ප්‍රශ්න වලට මුහුණ දී සිටී. ඉහළ තාක්ෂණික සහ මුල්‍ය හැකියාවක් පවතින ලෝකයේ දියුණු රටවල් කසල මුදල් බවට පරිවර්තනය කරමින් තිබේ. මේ වන විට කසල යනු ලෝකය තුළ මුදල් බවට හැරවිය හැකි වටිනා සම්පතකි. ප්‍රතිචක්‍රීකරණය මගින් පරිසර දුෂණය සැලකිය යුතු මට්ටමකට අඩු කර ගැනීමට මෙවැනි රටවල් වලට හැකි වී තිබේ. දියුණු රටවල තත්ත්වය මෙසේ වුවද තවමත් බොහෝ දකුණු ආසියාතික රටවල් මෙම ගැටලුවට තිරසාර විසඳුමක් සෙවීම සඳහා අරගල කරමින් සිටී. කසල කළමනාකරණයේ ආර්ථික වාසි ලෝකයේ බොහෝ රටවල් අවබෝධ කර ගනිමින් ඒ කෙරෙහි යොමු වන වාතාවරණයක ශ්‍රී ලංකාවේ අපි ඉතාම පසුගාමී තත්ත්වයක පසු වීම කනගාටුදායක වේ. කසල කළමනාකරණය යනු ඉතාමත්ම ලාභදායී කර්මාන්තයක් බවට වර්තමානයේ පත්ව තිබේ. ශ්‍රී ලංකාවේ එවැනි කර්මාන්තයක් (Industry) දක්නට නොලැබුණ ද ලොව දියුණු රටවල ආර්ථිකයට කසල කළමනාකරණ කර්මාන්තයෙන් ලැබෙන්නේ ඉහළ දායකත්වයකි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ කසල කළමනාකරණයේ නියුතු ප්‍රධාන පෙළේ සමාගමක් වන Waste Management inc 2016 මුල්‍ය වර්ෂය සඳහා වාර්තා කළ ආදායම ඩොලර් බිලියන 13.6 කි. බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Biffa Group Limited 2016 මුල්‍ය වර්ෂය සඳහා වාර්තා කරන ලද ආදායම ස්ටර්ලිං පවුම් මිලියන 927.5 කි. එසේම චීනයේ ප්‍රධාන පෙළේ කසල ප්‍රතිචක්‍රීකරණයේ නියුතු සමාගමක් වන Kuusakoski Recycling 2015 මුල්‍ය වර්ෂය සඳහා වාර්තා කරන ලද පිරිවැටුම යූරෝ මිලියන 466.3 කි.

ඉහත දක්වන ලද තොරතුරු දෙස බැලීමෙන් පෙනී යන්නේ කසල කළමනාකරණය ඉතා ලාභදායී කර්මාන්තයක් වශයෙන් ලෝකයේ දියුණු රටවල කෙසේ ස්ථාපිත වී ඇත්ද යන්න සහ එම කර්මාන්තයේ නියුතු සමාගම් කෙතරම් ලාභ ලබන්නේ ද යන්නයි. වෙනත් රටවල් කසල වලින් මෙයාකාරයට මුදල් උපයන අතරේ අපේ රටේ අපේම මිනිසුන් කුණු කන්දකට යට වී මිය යාම සම්බන්ධයෙන් අප රටක් වශයෙන් ලජ්ජා විය යුතුය. තවත් රටක කසල රැකියා නිර්මාණය කරන, මුදල් උපයන කර්මාන්තයක් බවට පත් වෙද්දී ශ්‍රී ලාංකිකයන් කසල ගැටළුවක් ලෙස සිතීම සම්බන්ධයෙන් නැවත වරක් සිතා බැලීමට කාලය එළඹ තිබේ.

පසු ගියදා මීතොටමුල්ල ප්‍රදේශයේ සිදු වූ ඛේදවාචකයත් සමඟ දේශපාලනඥයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ සාමාන්‍ය ජනතාව පවා කසල කළමනාකරණයේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් කතිකාවතක් නිර්මාණය වූ අතර තවත් පිරිසක් එකිනෙකාට චෝදනා කර ගත් බව ද පෙනුණි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමේදී එක් කරුණක් පැහැදිලිය. එනම් බලධාරීන් කිසි දිනෙක නැවත වරක් මීතොටමුල්ල ප්‍රදේශයේ කසල බැහැර නොකරන බවයි. දැඩි මහජන විරෝධතා මධ්‍යයේ වෙනත් විකල්ප කසල බැහැර කිරීමේ ස්ථාන වෙත යොමු වීමට පාලකයන්ට සිදු වී තිබේ. කෙටි කාලීන පියවරක් වශයෙන් වෙනත් ස්ථානයක කසල බැහැර කිරීමේ වරදක් නොමැති වුවද එය දීර්ඝකාලීන උපාය මාර්ගයක් නොවිය යුතුමය.

කසල බැහැර කරන ස්ථානය වෙනස් කිරීමෙන් මිනිසුන් ඉල්ලා සිටින ආකාරයේ තිරසාර විසඳුමක් ලබා දීම වෙනුවට සිදු වන්නේ කසල තැනින් තැනට ගෙන ගොස් රට පුරාම කසල කඳු ව්‍යාප්ත කිරීමේ තත්ත්වයකි. මුළු රටම කුණු කන්දක් බවට පත් වීම මෙහි අවසන් ප්‍රතිඵලය වෙයි. මෙනිසා රජය මෙම ගැටලුව විසදන තෙක් බලා නොසිට පෞද්ගලිකවම එක් එක් පුරවැසියන් තමන්ගේ නිවසේ එකතු වන කසල නිසි පරිදි වර්ග කර බැහැර කරන්නේ නම් මෙම ගැටලුව බොහෝ දුරට සමනය වනු ඇත. මක් නිසාද යත් කසල නිසි පරිදි බැහැර කිරීමේ වැඩසටහනක් දියත් කිරීමට ඇති නොහැකියාව සහ ප්‍රමාදය පරිසරයට පමණක් නොව ආර්ථිකයට ද ඍණාත්මක බලපෑම් ඇති කරවන බැවිනි.

2012 වසරේ පවත්වන ලද ජන සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ නාගරික ජනගහනය ප්‍රතිශතයක් වශයෙන් 18.2% කි. භෞතික හා මානව සම්පත් කොළඹ නගරයට පමණක් සීමා වීම නිසා තම දෛනික කටයුතු කර ගැනීම උදෙසා කොළඹ නගරයට සංක්‍රමණය වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව වැඩි වීමත් නාගරිකව කසල ප්‍රශ්නය තීව්‍ර වීමට හේතු වී තිබේ. කොළඹ නගරය වෙත මෙසේ ඇදී එන පුද්ගලයන් බැහැර කරන කසල ප්‍රමාණය අති විශාල වේ. මෙය විසඳීමට කඩිනම් පියවර නොගත හොත් අනාගතයේ දී මෙය වඩාත් උග්‍ර අතට හැරීමේ අවදානමක් පවතී. ලෝකයේ සෑම දේකටම මිලක් තිබේ. ඒ අනුව කසල සඳහා ද මිලක් තිබිය යුතුය. කසල යනු දිනෙන් දින ඉහළ යන සම්පතක් මිස මිනීමරුවෙක් හෝ ප්‍රශ්නයක් වශයෙන් නොදැකිය යුතුයි.

උදාහරණ

ශ්‍රී ලංකාවේ තත්ත්වය මෙතරම් ශෝචනීය වෙද්දී අනෙකුත් රටවල් කසල නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් ආර්ථික වාසි ලබා ගෙන ඇත්තේ කෙසේදැයි විමසා බැලීම වැදගත් වෙයි. කසල ප්‍රතිචක්‍රීකරණය කිරීම, පොලිතින් භාවිතය අඩු කිරීම සහ තවත් පරිසර හිතකාමී උපාය මාර්ග හඳුන්වා දීම මගින් ලෝකය ම හරිත වීමට අවධානය යොමු කර තිබේ. අපද්‍රව්‍ය, කසල වැඩි වශයෙන් ම පරිසරයට එකතු කරන්නේ කර්මාන්තශාලා ය. වෙනත් ලෙසකින් ප්‍රකාශ කරන්නේ නම් ව්‍යාපාර සංවිධාන පරිසර දුෂණය සඳහා වැඩි දායකත්වයක් ලබා දෙයි. එසේ නම් මේවාට විසඳුම් ලබා දීමේදී පෙරමුණ ගත යුත්තේ ද ඔවුන්ම ය.

ලොව සුප්‍රකට ගුවන් සමාගමක් වන එමිරේට්ස් ගුවන් සමාගම ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් නිෂ්පාදනය කරන ලද කබා තම මගීන්ට ලබා දෙයි. දිරාපත් නොවීමෙන් පරිසරය දුෂණය වන්නට තිබු ප්ලාස්ටික් බෝතල් 28 කින් එක් කබායක් නිෂ්පාදනය කළ හැකි බව ගුවන් සමාගම පවසයි. තව දුරටත් ඔවුන් විශ්වාස කරන්නේ 2019 වසර වන විට ප්ලාස්ටික් බෝතල් මිලියන 88 ක් භාවිත කරමින් කබා නිෂ්පාදනය කිරීමට හැකි වේ ය යන්නයි. විශේෂයෙන්ම ප්ලාස්ටික් දිරාපත් වීමට වසර සිය ගණනක් ගත වන බැවින් ඒවා ප්‍රතිචක්‍රීකරණය කොට නැවත භාවිතයට ගැනීම වඩා යෝග්‍ය වේ.

ශ්‍රී ලංකාවේ අපට කුණු දමන්නට තැනක් නැත. මඟ තොටේ, දුම්රිය මාර්ග වල පටන් සෑම තැනකම පාහේ අවිධිමත් කසල බැහැර කිරීම් දැක ගැනීම ලංකාවේ අපට දුෂ්කර නොවේ. ඒ අපට කසල යනු ගැටළුවක් බවට පත්ව ඇති නිසාවෙනි. නමුත් ස්වීඩනය තමන්ගේ රට තුළ උත්පාදනය වන කසල ප්‍රමාණය ප්‍රතිචක්‍රීකරණය කොට තාපය සහ බල ශක්තිය නිෂ්පාදනයට පටන් ගෙන තිබේ. රටේ තාපය සහ විදුලි බල අවශ්‍යතාවයෙන් 20% කසල දහනයෙන් නිෂ්පාදනය කිරීමට ඔවුහු සමත්ව ඇත. ඒ අනුව නිවාස 260,000 විදුලියත්, තවත් නිවාස 950,000 ඍජු තාපයත් ලබා දෙයි. කෙසේ වෙතත්, මෙම කරතව්‍ය සඳහා ප්‍රමාණවත් කසල තොග ස්වීඩනය සතු නොවීම නිසා නොර්වේ රාජ්‍යයෙන් කසල ආනයනය කිරීමට ඔවුන් පියවර ගෙන තිබේ. තවත් රටකට හිසරදයක් වී ඇති කසල සඳහා ඉල්ලුමක් නිර්මාණය කිරීමට ස්වීඩනයට හැකි වී තිබේ. කසල යනු රටේ ආර්ථිකයට වාසි ලබා දෙන, ඒ ආශ්‍රිතව රැකියා බිහි වෙන සම්පතකි.

අපේ අසල්වැසියෙකු වන ඉන්දියාව ප්ලාස්ටික් සඳහා නවෝත්පාදක විසඳුමක් සොයා ගෙන තිබේ. ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතා කරමින් තාර නිෂ්පාදනය කිරීමට ඔවුන්ට හැකි වී ඇත. ඒ අනුව ප්‍රාන්ත වල අතුරු මාර්ග තාර දමා නඩත්තු කිරීමේදී ප්ලාස්ටික් සහ පොලිතින් ප්‍රතිචක්‍රීකරණයෙන් නිපදවන ලද තාර භාවිතයට ගනී. මෙය ලාභදායී ක්‍රමයක් වන අතර එමගින් පරිසරය වෙත එකවර ප්ලාස්ටික් මුදා හැරීම අවම වීමෙන් පරිසර දුෂණය ද වැළකේ.

ජපානය පිළිබඳව අපට ඇසුණු සැණින් මතකයට එන්නේ එහි ඇති පිරිසිදු බව සහ ක්‍රමානුකුල බව යි. කාර්මීකරණය සහ නාගරීකරණය ඉහළින්ම පවතින රටක් වන ජපානයේ කුණු කසල බැහැර කිරීම විධිමත් ය. ජපානය ඔවුන්ගේ කසල වලින් 77% ක් ප්‍රතිචක්‍රීකරණයට ලක් කරන අතර මෙය අනෙකුත් රටවල් සමඟ සංසන්දනය කරන විට සැලකිය යුතු මට්ටමේ අනුපාතයකි. ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙය 20% වන අතර එක්සත් රාජධානියේ 36% වේ. ටෝකියෝ, හිරෝෂිමා සහ කියොතෝ වැනි විශාල නගර ජපානයේ පැවතිය ද ඒවායෙන් බැහැර කෙරෙන කසල හා අනෙකුත් අපද්‍රව්‍ය නිසි පරිදි කළමනාකරණය කිරීම නිසා ජපානයේ කසල කඳු දක්නට නොලැබේ.

මේ ලෝකයේ දියුණු යැයි සම්මත රටවල් කසල ගැටලුව උදෙසා නිර්මාණශීලී සහ නවෝත්පාදක විසඳුම් ලබා දී ඇති ආකාරයයි. අප මොහොතක් ඉහත සඳහන් කළ උදාහරණ දෙස ගැඹුරින් විමසා බැලුවොත් පෙනී යන දෙය නම් ඒවායෙන් බොහොමයක් අපේ රට තුළ ද ප්‍රායෝගික කිරීමට හැකි ඒවා බවයි.

දේශීය විසඳුම්

විදෙස් ආධාර බලා සිටිනවා වෙනුවට මෙම කසල කළමනාකරණය සඳහා දේශීය වශයෙන් සකස් කෙරුණු වැඩපිළිවෙලක අවශ්‍යතාවය දැඩිව පවතී. රජයේ සහයෝගය අවශ්‍ය වන මහා පරිමාණ වැඩසටහන් ක්‍රියාත්මක වන තෙක් බලා නොසිට බිම් මට්ටමින් පුද්ගලයන් වශයෙන් මෙම ගැටලුව විසඳීමට කළ යුතු දේ කිරීම කාගේත් වගකීමකි. විශේෂයෙන්ම නාගරික ප්‍රදේශ ආශ්‍රිතව නිවෙස් වල කසල කඩදාසි, වීදුරු, පොලිතින් හා ප්ලාස්ටික් ආදී වශයෙන් වර්ග කර භාර දීම මෙම ප්‍රතිචක්‍රීකරණ කටයුත්ත වඩාත් පහසු කරවයි.

ඉවත ලන අපද්‍රව්‍ය වලින් ගඩොල් නිෂ්පාදනය කරන පුද්ගලයෙකු පිළිබඳව මෑතකදී මාධ්‍ය ඔස්සේ වාර්තා විය. රථ වාහන වලින් ඉවත් කරන වීදුරු විශේෂයෙන් මේ සඳහා යොදා ගැනේ. උෂ්ණත්වය රඳවා ගත හැකි ගඩොල් නිර්මාණය කළ හැකි අතර ඒවා නුවර එළිය වැනි සීතල ප්‍රදේශ වලට යෝජනා කරයි. ලෝකයේ තවත් රටවල් තෝරා ගත් කසල වර්ග යොදා ගනිමින් ගඩොල් තැනීමේ නිරතව සිටී. විශාල බරක් දරා ගැනීමේ හැකියාවක් මෙවැනි ගඩොල් සතුව නොමැති වුවද කාමර වෙන් කිරීම වැනි සැහැල්ලු කටයුතු සඳහා යොදා ගත හැකිය.

ගම්පොල ප්‍රදේශයේ තරුණයෙකු කසල ප්‍රතිචක්‍රීකරණය කිරීමේ යන්ත්‍රයක් නිර්මාණය කිරීමේ සිද්ධියක් ද අසන්නට ලැබුණි. මීතොටමුල්ල ඛේදවාචකය සිදු වන තෙක් මෙවැනි සොයා ගැනීම් වල වටිනාකම සමාජයට අවබෝධ වූයේ නැත. රාජ්‍ය අනුග්‍රහය හා දිරි ගැන්වීම් ඒ සඳහා ලැබුනේ නැත. කෙසේ වෙතත් මේ සඳහා විෂය භාර අමාත්‍යවරයා සහයෝගය ලබා දීමට අවධානය යොමු කිරීම ප්‍රසංශා කටයුතුය.

ඉදිරි දැක්ම

නිසියාකාරව කසල කළමනාකරණය මගින් ඍජු සහ වක්‍ර ආර්ථික ප්‍රතිලාභ ලබා ගත හැකිය. සියල්ලටම ප්‍රථමයෙන්, තම ප්‍රදේශ වල කසල එකතු කරන නගර සභා නියෝජිතයන් වෙත නිවෙස් වලින් කසල ලබා දීමේදී ඒවා මනා ලෙස වර්ගීකරණය කිරීමට තරම් ස්වයං විනයක් පුරවැසියන් වශයෙන් අප සියලු දෙනා සතු විය යුතුය. එමගින් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කර ගැනීමට හැකියාව ලැබේ. අනෙක් අතට පෞද්ගලික අංශයේ සමාගම් සංචාරක කර්මාන්තය ආශ්‍රිතව විශාල වශයෙන් මුදල් ආයෝජනය කර ඇති මෙවැනි අවස්තාවක රට තුළ කුණු කඳු නිර්මාණය වීමෙන් රටේ කීර්ති නාමයට කැළලක් වනු ඇත.

අනෙකුත් පොහොර වර්ග වලට සාපේක්ෂව කොම්පෝස්ට් පොහොර වෙළෙඳපලේ මිල අධික වේ. එසේම කොම්පෝස්ට් යොදා වගා කරන ලද බෝග සඳහා ද ඉහළ ඉල්ලුමක් පවතී. ඒ අනුව කොම්පෝස්ට් පොහොර අඩු මිලට ලබා දීමෙන් එය රටේ ආර්ථිකයට මෙන්ම මිනිසුන්ගේ සෞඛ්‍යට ද හිතකර වනු ඇත. රටක් වශයෙන්, අප කෘතීම ආනයනික පොහොර වර්ග දීර්ඝ කාලයක් තිස්සේ භාවිත කිරීමේ අනිසි ඵල විපාක විඳියි. කසල මනා ලෙස කළමනාකරණය කිරීමෙන් නිමැවෙන කොම්පෝස්ට් සඳහා දේශීයව මෙන්ම විදේශීය වෙළෙඳපලෙත් ඉල්ලුමක් පැවතීම නිසා මේ සඳහා පෞද්ගලික අංශය දායක කර ගැනීම පහසු වනු ඇත.

කුණු ප්‍රශ්නයෙන් මිදීමට නම්, රජය විසින් සියල්ලක්ම ඉටු කළ යුතුය යන සම්ප්‍රදායික මානසිකත්වයෙන් මිදිය යුතුය. රජයේ වගකීම වන්නේ පෞද්ගලික අංශය වෙත පවරා ඔවුන් එය හරියාකාරව ඉටු කරන්නේදැයි සොයා බැලීමත්, එසේ නොවන කලෙක රාජ්‍ය මැදිහත් වීම මගින් ප්‍රශ්න වලට අවශ්‍ය පිළියම් යෙදීමත්ය. ඇමෙරිකාව වැනි දියුණු රටවල සිදු වන්නේ මුළුමනින්ම මෙවැනි ක්‍රියා පෞද්ගලික අංශය වෙත ලබා දීමයි. කසල කළමනාකරණයෙන් ආර්ථික වාසි ලබා ගැනීමට ඇති ඉදිරි දැක්ම මෙය වේ.

Load More Related Articles
Load More By NightOwls
Load More In Opinion

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

Creative Activities for Children by Somalatha Subasinghe Play House

Lanka Children’s and Youth Theatre Foundation (LCYTF) or popularly known as Somalatha Suba…