Home Personal Development කට වට කර වැට බැදීම

කට වට කර වැට බැදීම

1 second read
0
1
915

සටහන – අමිල මුතුකුට්ටි

amila muthukuttiමානව සන්න්නිවේදනයේ තවත් එක් ප්‍රබල සන්නිවේදන මාධ්‍යක් වශයෙන් කතා කිරීම නොහොත් වචන භාවිතය හඳුන්වා දිය හැකිය. වචන භාවිතයේ දියුණු අදියරක් ලෙස නිමවුනු භාෂාව මිනිසුන් තව තවත් සමීප කිරීමටත් ස්වකීය අදහස් අනෙකා සමඟ බෙදා හදා ගැනීමටත් උපකාර වී තිබේ. නමුත් එය යහපත් අරමුණු වෙනුවෙන් යොදා ගන්නේ සීමිත පිරිසකි, එසේ කිරීමට දැනුම අවබෝධය ඇත්තේ ද සීමිත පිරිසකට පමණි. එනිසාම වචන භාවිතයේ ප්‍රබලත්වය පැහැදිලි වන ආකාරයේ කියමන් ඕනෑ තරම්ය. “හොඳට නරකට දෙකට කටමය” යැයි කියනු ලබන්නේ වචන භාවිතයේ පුර්ණ වගකීම පුද්ගලයා වෙත පවරා දෙමිනි.

මානුෂීය ගනු දෙනු ආරම්භ කිරීමේදී සහ පවත්වා ගෙන යාමේදී වචන භාවිතය ඉතාම වැදගත්. ව්‍යාපාර කිරීමේදී තමන්ගේ පාරිභෝගිකයාට තමන්ගේ නිෂ්පාදනය සම්බන්ධව විස්තර කිරීමට මේ වචන වලින් කෙරෙන්නේ විශාල මෙහෙයක්. කෙසේ වෙතත් මේ වචන නිසියාකාරව හැසිරවීමට දක්ෂ වන්නේ සීමිත පිරිසක් බැවින් තමන්ගේ නිෂ්පාදන අපේක්ෂිත පරිදි පාරිභෝගිකයන් වෙත අලෙවි කරන්නේ ද සීමිත පිරිසකි. විකුණුම් කළමනාකරණයේදී ඉගැන්වෙන දෙයක් වන්නේ කියන්නේ මොකක්ද යන්නට වඩා ඒ දෙය කියන්නේ කොහොමද යන්න ඉතා වැදගත් බවයි. මෙනිසාම එකම නිෂ්පාදනය සමාන පාරිභෝගික කණ්ඩායමක් වෙත අලෙවි කිරීමේ අවස්ථාව අලෙවිකරුවන් වෙත ලබා දුන්නද ඔවුන් ඒ සියලු දෙනාගෙන්ම භාණ්ඩ මිල දී ගන්නේ නැත. ඔවුන් මිල දී ගන්නේ තමන්ට වඩාත්ම කරුණාවන්ත ලෙස තමන්ට අවශ්‍ය දේ පහදා දුන් පුද්ගලයාගෙන් පමණි. මේ වචනයේ බලයයි.

ප්‍රිය වචන කතා කිරීමට මිනිසුන් පමණක් නොව සතුන් වුවද රුචියක් දක්වන බව පර්යේෂණ වලින් පවා අනාවරණය වී තිබේ. කෙනෙකුගේ හිත දිනා ගැනීමට හොඳම මෙවලම මේ වචන භාවිතයයි. ඔබ සේවය කරන ඔබේ කාර්යාලයේ පිරිස අතරේ ඔබේ වචනය කිනම් ආකාරයේ එකක්ද? කේලාම් කියමින් අනෙකා බිඳ වීමට වචන භාවිත කරන පිරිස් කාර්යාල වල දකින්නට අපහසු නොවේ. මෙවැනි පිරිස් අනෙකාගේ සිත සුවපත් කිරීමට වචන යොදා ගන්නවා වෙනුවට වචන මගින් අනුන්ටද තමන්ට ද කරන්නේ මහත් අනර්ථයකි. රට වට කර වැට බැන්දත් කට වට කර වැට බදින්නට නොහැකි බව පැරැන්නන්ගේ අදහසයි. ඒ තරමටම කට රැක ගැනීම අපහසුය. ඒ අනුව දෙපැත්ත කැපෙන මුවහත් ආයුධයක් මෙන් වූ වචනය තමන්ගේත් අනුන්ගේත් යහපත පිණිස යොදවන්නේ කෙසේදැයි සාකච්ඡා කරමු.

වචනයක් මුවින් ගිලිහුණු පසු ඒ ගැන කොතරම් දුක් වුවද එය පාලනය කිරීමට හැකියාවක් නැත. එනිසාම එය සමාන කරන්නේ දුන්නෙන් මිදී ගිය ඊතලයකට ය. එසේ නම් සිතා බැලිය යුත්තේ කතා කරන්නට පෙර ය. කතා කළ යුත්තේ කෙසේද සහ මොනවාදැයි බොහෝ දෙනෙකු දැන සිටිය ද ඇතැම් අවස්ථාවල දී ආවේගයන් පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් නොකළ යුතු දේ කරන්නටත් නො පැවසිය යුතු දේ පවසන්නටත් මිනිසුන් පෙළඹේ. කෝපය, සංවේගය සහ ආශාව වැනි මනෝ භාවයන් හමුවේ දුර්වල වන මිනිස් සිත වචනයේ සංවරයට අපොහොසත් වේ. එනිසාම කට නිසා අත් කර ගන්නේ මහත් විපතකි.

නිවැරදි දේ නිවැරදි අවස්ථාවේදී ප්‍රකාශ කිරීම යහපත් පෞර්ෂයක ලක්ෂණ වේ. නිවැරදි දේ වැරදි අවස්ථාවක ප්‍රකාශ කිරීමෙන් එයට හිමි වටිනාකම නොලැබේ. තමන් සත්‍ය ප්‍රකාශ කළ ද එය පිළිගැනීමට ලක් නොවුණු බවත් එයින් තමන් කර ගත්තේ අවැඩක් බවත් බොහෝ දෙනා මැසිවිලි නගනවා අපට අසන්නට ලැබී තිබේ. නිවැරදි සන්නිවේදනය යනුවෙන් අදහස් කරන්නේ නිවැරදි දේ ප්‍රකාශ කිරීම නොවේ. නිවැරදි දේ ප්‍රකාශ කළ යුත්තේ නිවැරදි අවස්ථාව පැමිණි පසු නිවැරදි පුද්ගලයන් අමතමිනි. බුදුන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමෙන් අනතුරුව තමන්ට මුණ ගැසුණු කවර හෝ පුද්ගලයෙකුට ඒ වටිනා ධර්මය දේශනා කළේ නම් ඔවුන් එය තේරුම් නොගනු ඇත. නමුත් බුදුන් වහන්සේගේ ධර්මයේ සත්‍යතාවය පිළිබඳව ප්‍රශ්නයක් එයින් මතු නොවේ. එනිසා බුදුන් වහන්සේ සිදු කළේ සුදුසු පුද්ගලයන් සහ සුදුසු වේලාව පැමිණෙන තෙක් බලා සිටීමයි. මෙයින් අපට ගත හැකි ආදර්ශ බොහොමයකි.

කතා කරන්නට යාමේදී තමන් ඉදිරියේ සිටින පුද්ගලයාගේ ස්වභාවය සහ බුද්ධි මට්ටම සම්බන්ධයෙන් තමන්ට අවබෝධයක් නොමැති නම් තීරණාත්මක සංවේදී දේවල් සාකච්ඡා කිරීමෙන් වළකින්න. මොකද එහෙම කිරීමෙන් ප්‍රයෝජනයක් නොමැති නිසා සහ ඔබ ප්‍රකාශ කරන කරුණු විකෘති වීමට ඇති ඉහළ සම්භාවිතාවය නිසාත්. කෙනෙක් කතා කරන දේ ව්‍යාප්ත වෙන්නේ ඔහු කී දේට හාත්පසින්ම වෙනස් ආකාරයකින්. මෙය වචනයේ බලය අයුතු ලෙස ප්‍රයෝජනයට ගැනීමක්.

ලෝකයේ සෑම ආගමක්ම පාහේ බොරු කීමෙන් පටන් ගෙන වචනයෙන් විය හැකි වැරදි සඳහා තහංචි දමා තිබේ. ඒ වචනයෙන් විය හැකි විනාශය වළක්වා ගැනීම වෙනුවෙනි. යුද්ධ ඇති වීමට මෙන්ම සතුරු සිත් යළි මිතුරු කිරීමට ද වචනයට හැකියාවක් ඇත. එය නවීන අවි ආයුධ වලට නොමැති බලයකි. වචනයක් නිසා රටක් කැබලි වන්නට ගිය අවස්ථාවක් වළක්වා ගත් ආකාරය ශ්‍රී ලංකා ඉතිහාසයේ සඳහන් වේ. දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානය සම්බන්ධයෙන් ලෝක නායකයන්ගේ මතය විමසීමේ සමුළුවක් ඇමෙරිකාවේදී පැවැත් වුණු අතර ශ්‍රී ලංකාවෙන් එය නියෝජනය කළේ හිටපු ජනපති ජේ.ආර් ජයවර්ධන මහතාය. මේ සමුළුවේදී අනෙකුත් ලෝක නායකයන්ගේ අදහස වුයේ ජපානය දෙවන ලෝක යුද්ධයේදී සිදු කළ විනාශය වෙනුවෙන් වන්දි අය කර ගත යුතු බවටයි. වන්දි ලෙස ජපානය බෙදා වෙන් කර ඒ ඒ රටවල් විසින් පාලනය කිරීමටත් මෙහිදී යෝජනා විය. නමුත් මෙහිදී ජේ.ආර් ජයවර්ධන විසින් “නහී වේරේන වේරානී” පාඨය මුල් කර ගනිමින් කළ කතාවෙන් සිදු වන්නට ගිය විනාශයක් වැලකින. එදා ඒ වචන පෙළ නොවුයේ නම් ජපානය මේ තරම් ලෝක බලවතෙකු ලෙස දෙවන ලෝක යුද්ධයෙන් පසු නැගී එන්නට නො තිබුණි.

වචනය අති ප්‍රබල සන්නිවේදන මෙවලමකි. ව්‍යාපාර ලෝකයේදීත් සාමාන්‍ය ජීවිතයේදීත් වචනය මගින් වැඩ ගැනීමට නම් එය නිසි ලෙස හැසිරවීමට උගත යුතුය. සැකෙවින් කියන්නේ නම් කට වට කර වැට බැදීමට සමත් පුද්ගලයා රට වට කර වැට බැදීමට වුවද හපනෙක් වන බව චීන ජාතිකයන් ඔප්පු කර තිබේ.

 

 

Load More Related Articles
Load More By NightOwls
  • llllllllll

    2017 ට ආයුබෝවන්

    සටහන – සහකාර කථිකාචාර්ය නාලක ජයසේන වසරක් ගෙවී වසරක් ගතවන්නේ විශ්වයේ රිද්මය අපට පසක් …
  • kites_in_the_sky_by_martinklekner-d6r6w3h

    උඩ යන සරුංගලේ, කියාදෙන කතන්දරේ

    සටහන – අමිල මුතුකුට්ටි ඉහළට යන්න හැමෝම කැමතියි. හැම කෙනෙක්ම රැකියාවට යන්නේ, තව තවත් …
Load More In Personal Development

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

2017 ට ආයුබෝවන්

සටහන – සහකාර කථිකාචාර්ය නාලක ජයසේන වසරක් ගෙවී වසරක් ගතවන්නේ විශ්වයේ රිද්මය අපට පසක් …