Home Personal Development උඩ යන සරුංගලේ, කියාදෙන කතන්දරේ

උඩ යන සරුංගලේ, කියාදෙන කතන්දරේ

0 second read
0
0
774
kites_in_the_sky_by_martinklekner-d6r6w3h

සටහන – අමිල මුතුකුට්ටි

amila muthukuttiඉහළට යන්න හැමෝම කැමතියි. හැම කෙනෙක්ම රැකියාවට යන්නේ, තව තවත් ඉගෙන ගනිමින් තමන්ගේ දැනුම පුළුල් කර ගන්නේ, සමාජ සම්බන්ධතා ඇති කර ගනිමින් කව්රුත් දන්නා හඳුනන පුද්ගලයෙකු බවට පත් වීමට උත්සාහ දරන්නේ යනාදී මේ සියලුම කාර්යන් ඉටු කරන්නේ සාර්ථකත්වය උදෙසාය. සැකෙවින් දක්වන්නේ නම් දැනට ඉන්නා තැනින් පියවරක් හෝ ඉදිරියට ගමන් කිරීම සඳහාය. තමන් තව තවත් අගාධයට ඇද දමන වැඩ යමෙකු කරන්නේ නම් ඒ මානසික රෝගයක් ඇත්තෙකු විය යුතුය. එසේ නොවන සියලු දෙනාම නිරතුරුවම සිතන්නේ, කටයුතු කරන්නේ තමන්ගේ සාර්ථකත්වය වෙනුවෙනි. පුද්ගල ස්වභාවය මෙයයි.

මෑතකදී මුහුදු වෙරළේ ඇවිදිමින් සිටි මගේ නෙත ගැටෙන්නේ ඉහළ ආකාශයේ පා වෙමින් තිබෙන සරුංගලයකි. බැලු බැල්මට ම චමත්කාරජනක හැගීමක් සිත් තුළ ජනිත කරන මෙම අපූරු දර්ශනය අපේ ජීවිතයට සාර්ථකත්වය උදෙසා යන ගමනේදී පාඩම් කියා දෙන්නකි. ඒ මොහොතේ මගේ සිත් තුළ පැන නැගුණු අදහස් ඔබ සමඟ මෙසේ බෙදා හදා ගැනීමට අදහස් කළේ ඉහළ යන සරුංගලේ කියාදෙන කතන්දරේ ඔබේ ජීවිතයට ද වටිනාකමක් එක් කරාවි යැයි සිතූ නිසාවෙනි.

ජීවිතය ද සරුංගලයක් වැනි ය. ඇතැම් සරුංගල් අතිශයින්ම විසිතුරුය, විචිත්‍රවත්ය. නමුත් තවත් සරුංගල් ඒකාකාරීය. එකම වර්ණයෙන් යුක්තය. මේ කවර ආකාරයේ සරුංගලයක් වුවද වෑයම් කරන්නේ ඉහළ ආකාශයට යාමටයි. කෙසේ වෙතත් සරුංගලයේ වලිගය දිගින් වැඩි වන තරමට එයට සුළඟ සමඟ පොර බදිමින් ඉහළට යාමේ හැකියාව ද වැඩිය. එය සරුංගලය නිමවන්නා ගේ රාජකාරියකි. ජීවිතය නමැති සරුංගලය විචිත්‍රවත් කර ගන්නේ ද එයට වඩාත් වැඩි දුරක් ඉහළ අහසේ ගමන් කිරීමට අවශ්‍ය ශක්තිය හා හැකියාව ලබා දෙන්නේ ද තමන් ම ය. මෙයින් අදහස් කරන්නේ තමන්ගේ ජීවිතයේ නිමැවුම්කරුවා තමන් ම බවයි. එසේ නම් තමන්ගේ ජීවිතය සාර්ථකත්වය කරා ගමන් කරන ලෙසට එය නිර්මාණය කර ගැනීම පැවරෙන්නේ ද තමන් වෙතටය. කිසිම විටෙක සරුංගලයක් තවත් සරුංගලයක් ඉහළට ඔසවා තැබීමට වෙහෙස වෙන්නේ නැත. එයාකරයටම අනුන් තමන්ට කිසිම සහයෝගයක් ලබා නොදෙන්නේ යයි මැසිවිලි නගනවා වෙනුවට තමන්ට පුළුවන් තැනින් පටන් ගෙන පුළුවන් ආකාරයට ජීවිතය ඉදිරියට ගෙන යාම පුද්ගලයාගේ වගකීම නොවන්නේ ද?

ඉහළ අහසේ නොයෙක් හැඩ තල වලින්, නොයෙක් වර්ණ වලින් බැබළෙමින් ඒ මේ අත පා වෙන සරුංගල යේ නූල අතැතිව බිම සිටින්නේ කුඩා දුප්පත් දරුවෙකි. සරුංගලය ඉහළ අහසට නැගුණු පසු බිම සිටින මේ පිරිසට කළ හැකි එකම දෙය නම් ඒ දෙස බලා සතුටු වීම පමණි. උඩු ගුවනේ මහත් ආඩම්භරයෙන් සැරිසරන සරුංගලය නැවතත් මහ පොළොව වෙත ගෙන්වා ගැනීම අසීරු කටයුත්තකි. එවැනි උත්සාහයක අවසන් ප්‍රතිඵලය වන්නේ බිම සිටින පුද්ගලයා සහ ඉහළ අහසේ ඇති සරුංගලය යා කරන එකම සම්බන්ධතාවය වන නූල කැඩී යාමයි. එනිසා සිදු වන්නේ තව තවත් සරුංගලය මහ පොළොවේ යථාර්තයෙන් ඈතට ගමන් කිරීමයි.

විමසිල්ලෙන් බැලූ කල පෙනී යන්නේ මෙය අපගේ ජීවිතයේ ම තවත් එක් සංසිද්ධියක් බවයි. අපේ සමාජයේ ඉහළින්ම බැබළෙන බොහෝ දෙනෙකුගේ දෙමාපියන් සිටින්නේ දුප්පත් පැල්පත්වල ය. මිල මුදල් නොමැති, උගත්කමක් නොමැති දෙමාපියන් තමන්ගේ දරුවන් ඉහළින් ඉහළට ඔසවා තැබීමට අනේක විධ දුක් පීඩා උසුලයි. එය හරියටම මුහුදු වෙරළේ සරුංගල් යැවීමට ඒ මේ අත දුවන කුඩා ළමුන්ගේ උත්සාහයට වඩා අමිහිරි කතාන්දරයකි. බඩ ගින්නට වඩා දරු සෙනෙහස පෙරටු කර ගනිමින් රුපියල් ශත සොයන්නට දහදිය කදුළු හෙලු ඔවුන්ට ඇති එකම සතුට වන්නේ සමාජයේ ඉහළට යන දරුවන් දෙස බලා සිටීම පමණි. ඉහළ අහසේ පා වෙන සරුංගලය ට මහ පොළොවේ පය ගසාගෙන සිටින පුද්ගලයා පෙනෙන්නේ කුඩාවට ය. එසේම ඉහළට යන්න යන්න ඒ අයට දෙමාපියන් පෙනෙන්නේ නොවැදගත් පුද්ගලයන් ලෙසටය. අපේ රටේ මහලු නිවාස දිනෙන් දින වැඩි වන්නේ මේ කියන ඛේදවාචකය නිසා නොවේදැයි ඉහළ අහසේ පාවෙන සරුංගලය අපෙන් ප්‍රශ්න කරයි.

තමන් සෑදු සරුංගලය ඉහළ ගුවනට යාම සරුංගලයක් යවන ඕනෑම කෙනෙකුගේ අරමුණ වන්නා සේ ම සතුට ද එයයි. කෙසේ නමුත් එම සතුට රඳා පවතින්නේ සරුංගලයේ පාලනය තමන් සතුව පවතින තාක් පමණි. බොහෝ දෙනෙකුගේ සතුට මමත්වය හා දැඩිව බැදී පවතී. මගේ වන කෙනෙකුගේ ජයග්‍රහණයක් වෙනුවෙන් සතුටු වන පුද්ගලයා මගේ නොවන එනම් අනුන්ගේ ජයග්‍රහණයක් වෙනුවෙන් සතුටු නොවන්නේ මේ මමත්වය නිසාවෙනි. සරුංගලය මගේ වන්නේ මට එය පාලනය කිරීමට හැකිතාක් පමණි. පාලනය කිරීමට හැකි වන්නේ මගේ අතේ නූල තිබෙන තාක් පමණි. සාමාන්‍ය සත්ව ස්වභාවය මෙය වුවද සිතන්නට හැකි මිනිසුන් වශයෙන් ඊලග අදියර දක්වා සිත දියුණු කළ යුතුය.

සැබෑ සතුට පවතින්නේ මගේ යයි අල්ලා ගන්නා තරමට නොව අත හරින තරමට  ය. නමුත් තමන් ආශාවෙන් සෑදු ඒ සරුංගලය, තමන් ආශාවෙන් ගුවන්ගත කළ ඒ සරුංගලය තමන්ට අහිමි වී ගිය පසුත් එය පාවෙන අලංකාරය සතුටින් විදින්නට හැකි වන්නේ සුළුතරයකට පමණි. තමන්ට හිමි වී තිබෙන තාක් ආදරය කිරීමටත්, අහිමි වී ගිය පසු වෛර කරන්නටත් යොමු වන්නේ මෙවැනි මිනිසුන්ය.

සෑම සරුංගලයක් ම එකම ආකාරයෙන් එකම උසකට ගමන් කරන්නේ නැත. ඇතැම් සරුංගල් සුළගෙන් එන අභියෝග ජය ගෙන ඉහළට ගමන් කළ ද තවත් සරුංගල් එතරම් ඉහළට ගමන් කරන්නේ නැත. සුළගේ ප්‍රචණ්ඩ බව හමුවේ එවැනි සරුංගල් බිම පතිත වන්නේ නිරායාසයෙනි. සමාජයේ ජීවත් වන මිනිසුන් ද මෙයාකාර ය. එක් එක් පුද්ගලයාට අභියෝග ජය ගෙන බොහෝ දුර ගමන් කළ හැකි වුවද තවත් කෙනෙක් අභියෝග හමුවේ පරාජය වන්නේ චණ්ඩ මාරුතයෙන් බිම හෙළන සරුංගල් මෙනි.

යමක් සාර්ථක ලෙස ඉටු කිරීමටත්, පුද්ගලයෙකු වශයෙන් සාර්ථක වීමටත් නැතිවම බැරි දෙයකි පාලනය. පාලනයක් නොමැති ගමනේ මුණ ගැසෙන්නේ අසාර්ථකත්වය යි. බොහෝ වෙලාවට මේ පාලනයන්, නීති රීති කරදරයක් සේ දැනුන ද තමන් තමන්ගේ ඉලක්කය වෙත ගෙන යන්නේ මේ නීති රීතින් ය. වැඩිහිටියන්ගෙන්, දෙමාපියන්ගෙන් ලැබෙන අවවාද අනුශාසනා කරදරයක් හිරිහැරයක් සේ සලකන මිනිසුන් වෙත පෙන්වා දිය හැකි හොඳම උදාහරණය නම් නූල කැඩී අරමුණක් නැතිව ඒ මේ අත ටික වෙලාවක් පා වී අනතුරුව බිම පතිත වන සරුංගල් ය. තමන්ට රිසි සේ ගුවනේ පියාසර කිරීමට නූල බාධකයක් ලෙස සරුංගලය සිතුව ද, සත්තකින්ම එය නොමැති විට සිදු වන අනර්ථය ඔබට පැහැදිලිය.

උඩු ගුවනේ සරුංගලයක් දිස් වන කවර වෙලාවක වුවද මේ කරුණු ටික සිහියට නගා ගන්න. අනතුරුව තමන්ගේ ජීවිතයට එය ගළපා ගැනීමට උත්සාහ දරන්න. ඔබේ ජීවිතය ඉතාමත් නිවුණු, එමෙන්ම තෘප්තිමත් එකක් වනවා නිසැකයි.

Load More Related Articles
Load More By NightOwls
  • llllllllll

    2017 ට ආයුබෝවන්

    සටහන – සහකාර කථිකාචාර්ය නාලක ජයසේන වසරක් ගෙවී වසරක් ගතවන්නේ විශ්වයේ රිද්මය අපට පසක් …
  • කට වට කර වැට බැදීම

    සටහන – අමිල මුතුකුට්ටි මානව සන්න්නිවේදනයේ තවත් එක් ප්‍රබල සන්නිවේදන මාධ්‍යක් වශයෙන් …
Load More In Personal Development

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

2017 ට ආයුබෝවන්

සටහන – සහකාර කථිකාචාර්ය නාලක ජයසේන වසරක් ගෙවී වසරක් ගතවන්නේ විශ්වයේ රිද්මය අපට පසක් …