Home Opinion ‍මා මිය ගිය පසු මට මා පෙනෙනවාද ?

‍මා මිය ගිය පසු මට මා පෙනෙනවාද ?

2 second read
0
1
444
near-death-NDE-OBE

සටහන: නාලක ජයසේන 

මා මිය ගිය පසු මාගේ මර-ණය දෙස බලා සතුටු වන යමෙක් වේ නම් මාගේ මරණය සිදුවීම ඉතාම හොඳයැයි සිතන කෙනෙක් වේ නම්, එය මාගේ ජීවිතය අර්ථාන්විතව අවසන් කළ බවට ලැබෙන ඉඟියකි. මා මිය ගියා යැයි හෝ මා අහිමි වූවා යැයි පද්ධතියට එය වැදගත් නොවන්නේය. පද්ධතිය වැදගත් වන්නේ මට විනා, පද්ධතියට මා වැදගත් නැත. මාගේ අඩුව පුරවනු වස් පද්ධතිය විසින්ම වෙන අයකු ආදේශ කරනු ඇත. නැත්නම් ඉබේම කිසිවකු ආදේශ වනු ඇත. සියලු දේ හැරදා යා යුතුය. එකම කරුණ එසේ හැරදා යන දිනය, ස්ථානය හෝ ආකාරය දැන ගත නොහැකි වීමයි.

මර-ණයට පත් වෙනවා යනු කයෙන් සිත වෙන්ව යාමයි. එහෙත් ඒ එසේ සිදුවන පළමු අවස්ථාව මේ නොවේ. භව ගමනේ ස්වාභාවය එයයි. එහෙත් ඒ එසේ සිදුවන අවසාන අවස්ථාව බවට පත් කර ගැනීම තම තම නැණ පමණින් කළ යුත්තකි. මරණානුස්සති භාවනාව මූලික කර්මස්ථාන (භාවනා අරමුණු) හතරෙන් එකකි. මරණය සිහි කරන විට අතහැරීමේ අවශ්‍යතාව ඇති වේ. එහෙත් එම අවශ්‍යතාව ඇති වන විටම කාමය බලවත් වෙයි. අප ජීවත්වන්නේ කාම ලෝකයක වීම ඊට හේතුවයි. නිවන ඇත්තේ සුරතාන්තයෙන් එහා බව පවසන්නේ එබැවිනි.

කාම ලෝකයෙන් නිදහස් වීමේ අරගලය පහසු නැත. එය ප්‍රඥා – සීල – සමාධි වඩමින් කළ යුතුය. ඉන්ද්‍රියයන් අනිත්‍ය – දුක්ඛ – අනාත්ම වශයෙන් කල්පනා කිරීමෙන් පමණක් එය කළ නොහැකිය. එසේ නම් කළ යුතුව ඇත්තේ කුමක්ද ? එය පටිච්ච සමුප්පාදය හෙවත් හේතු-ඵල ධර්මය ඔස්සේ අවබෝධ කළ යුත්තකි. උපාදාන පච්චයා භව යන්න එහි වැදගත් සංසිද්ධියකි. අල්ලා ගැනීමෙන් කර්ම සැකසේ යනු එම සිද්ධාන්තයයි. එසේ නම් අපගේ ආශාව විසින් මෙහෙයවනු ලබන විවිධ අය විවිධ තැන් විවිධ දේ අල්ලා ගැනීම ඔස්සේ සංසාරයට ණය වීම සිදුවෙයි. ලෝකය සිහිනයක් බව නොදැනීම නිසා එසේ බැඳී යාම සංසාර පුරුද්දයි. නිර්වාණය වචනයෙන් පැවසිය නොහැකිය. එය ප්‍රත්‍යක්ෂයෙන් අත්දැකිය යුත්තකි. නිවන ගැන කල්‍යාණ මිතුරකු කියන විට ඒ ගැන තර්ක නොකොට හදවතට ගලපා බැලිය යුතුය. මෙහිදී පංච උපාදානස්ඛන්ධයේ ස්වාභාවය අවබෝධය ආධ්‍යාත්මික පර්වර්තනයේ සමාරම්භය වන්නේය.

රූපය පෙණ පිඬුවක්, වේදනාව දිය බුබුළක්, සංඥාව මිරිඟුවක්, සංඛාර කෙසෙල් කඳක් හා විඤ්ඤාණය මැජික්කරුවෙක් බවත් උපමා කොට ඇත. සෝවාන් නොවීමට හේතුව වන සක්කාය දිට්ඨිය ඔස්සේ මේ ස්කන්ධ පහ තුළ මම කියා කෙනෙක් අදහා ගෙන මම වැඩීමට, මම රැකීමට. මම පිනවීමට රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ආස්වාදය සිදුවෙයි. සෝවාන් වූ පසු ඒ ආස්වාදය එකවරම අවසන් නොවුණත් ඒ ආස්වාද ප්‍රායෝගික වශයෙන් යම් යම් ප්‍රමාණවලින් අතහරින්නට, අමතක කරන්නට, අභිරමණය නොකරන්නට අවශ්‍ය ශක්තිය ලැබේ. එය නව පුරුද්දකි. සංසාර පුරුද්ද ඉක්මවා යන අලුත් පුහුණුවකි. එම නව මාවත ආලෝකවත්ය. මක් නිසාද යත් සංසාරය මෙන් නොව එහි එහි පැහැදිලි අවසානයක් ඇත. ඒ අවසානය සිදුවන්නේ ක්‍රම ක්‍රමයෙන් ලෝකය අතහළ යුතු බව වැටහෙන්නේ සංසාරයේ විඩාව (දුක) අවබෝධ වීමත් සමගිනි.

කොතරම් වෙහෙස වුවත් එම විඩාව, මහන්සිය, අරගලය, සිතින් තර්ක කිරීම ආදී සියල්ලම අවසානයේදී හිස් බව සෝවාන්ඵලලාභියා දනියි – දකියි. එම දැක්ම කොතරම් ප්‍රබලද යත් ඒ උතුමා දිනෙක ඒකාන්තයෙන්ම අරහත්බව සාක්ෂාත් කරයි. අරහත් වීම සමග පුනර්භවය නතර වෙයි.

මේ ලොව්තුරු තලය මදකට අමතක තරමු. මෙරට බොහෝ බෞද්ධ ජනතාව කර්මය පිළිගන්නා, සිල් ගන්නා, දන්දෙන පිරිසකි. දිනපතා බුදුන් වඳින, ධර්මය අහන පිරිසකි. නමුත් එය නිවන් දැකීමය ප්‍රබල හේතුවක් නොවේ. එය පින ඵල දීමකි. අප නොදැන කරන්නේ කුමක්ද? පෙර පින් ඔස්සේ අලුත් කර්ම සකසා භවය දිගු කර ගැනීමයි. නමුත් වැදගත් වන්නේ පුණ්‍යඵලය නිසා ලැබුණු මිනිස් සිත නවතා ගැනීමයි. එය කළ හැක්කේ කුසලයෙනි. අතහැරීම කුසලයයි.

දැන් අපේ ප්‍රශ්නය වන්නේ ධර්මය වැඩුවත්, නැතත් මියයාම ස්ථිරය. එසේ නම් මා මිය ගිය පසු මට මා පෙනෙනවාද? මා මිය ගිය පසු මාගේ කුණු ශරීරය හමු වුවහොත් එයට ගෞරව දැක්වීම් සිදුකිරීම සම්ප්‍රදායයි. නුමුත් අවසන් මොහොතවත් සම්මුතියට අනුව කරගැනීමටවත් නොහැකි අවස්ථා ලෝකයේ එමටය. අනතුරුව කුමක්ද වන්නේ? මා වෙනුවෙන් පාංශුකූල, මතක බණ, හත්දවසේ දාන ආදිය, නොයෙකුන් පින් දහම් පමණක් නොව ඇතැම් විට ප්‍රේත ගොටු තැබීම් පවා සමාජය සිදු කරනු ඇත. දැන් මේවා මට පෙනේද? මගේ වයස අවුරුදු 27කි. මීට වසර 29කට පෙර ජවිපෙ කැරැල්ලෙන් මා මිය ගියා යැයි සිතන්න. පෙර භවයේ දෙමව්පියන්, මිතුරන් එකතු වී ඇතැම් විට අදටත් මා වෙනුවෙන් පින්කම් කරනු ඇත. එපමණක් නොව මමද සීනි කිලෝවක් ගෙන ඒ දානමය පින්කමට ඒ දෙමව්පියන් සමග මේ භවයේ ඇති කරගත් හිතවත්කමක් නිසා සහභාගිවනවා විය හැකිය. (මේ භවයේදී අපට හමුවන මිතුරු – සතුරු සියල්ලෝම පෙර භවවලද අප සමග එකට එක්ව කර්ම සකස් කළෝ වෙමු) එහිදී පෙර භවයේ මා වෙනුවෙන් අනුමෝදන් කරන පින් මා ගන්නවාද ? පිළිතුර නැත යන්නයි.

නච සෝ නච අඤ්ඤෝ ලෙස තථාගත දේශනාවේ සඳහන් වෙයි. එනම් ඔහුද නොව වෙන කෙනෙකුද නොවේ යන්නයි. එසේ නම් පිළිතුරක් ඇත. කවර ආකාරයකින් මා මිය ගියද, මා මිය ගිය පසු මා වෙනුවෙන් කරන කිසිවක් මට සෘජුව නොපෙනේ. එසේ දකින්නට චුතුපපාත නුවණ උපදවා ගත යුතුය .එමගින් දකිනවා නම් පමණක්‍ සැටලයිට් ටී වී නාලිකාවකිනි රිවයින්ඩ් කර බලනවා මෙන් මාගේ මරණය මට දැක ගත හැකි වනු ඇත. එසේනම් මෙයින් අප පසක් කරගත යුතු දහම – දර්ශනය කුමක්ද? මාගේ මරණයවත් මාගේ වසඟයේ නැති බවයි. මා වෙනුවෙන් මල්වඩම් තැබුවොත් මා වෙනුවෙන් කඳුළු සැළුවොත්, මා වෙනුවෙන් ශෝකප්‍රකාශ තැබුවත් ඒ කිසිවක් මට වැදගත් නොවන බවයි.
එසේ නම් කළ යුත්තේ කුමක්ද? මේ සියල්ල දිනෙක අහිමි වන්නේය .නමුත් අහිමි වන විට ඒවා අතහරින්නට මගේ සිත දියුණු නැත්නම් මම ඒවාට බැඳී මිය යයි. නමුත් මාගේ අවබෝධය ඔස්සේ ඒවා අහිමිවන්නට පෙර අතහැරියොත් එය සාර්ථක මරණයක්ම වන්නේය. ඇට කටු පොඩිවී තැලී මිය ගියද, වෙඩි වැදී මිය ගියද, සුනාමියකින් මිය ගියද, මිල අධික රෝහලක දැඩි සත්කාර ඒකකයක මිය ගියද, නින්දේදි මිය ගියද මා මිය යන්නේ අතහැරීමෙන් නම් අපූර්ව දෙයක් සිදුවේ.
මා මිය ගිය පසු මට මා පෙනේ. ඒ කෙසේද ? එය පැහිදිලි කළ හැකි භාෂාවක් නැත .නමුත් එය සිදුවන්නේ මෙසේය. මේ සටහන තබන මොහොතේ මා ජීවත්ව සිටියද මා මියයන්නේද මෙවැනි මොහොතකම බැවිනි. ක්ෂණිකව සෑම මොහොතක් පාසාම ඉපිද මියයාම නොසලකා සම්මුතික අයුරින් බැලුවද මරණය අනාගතයේ නොව මේ මොහොතේම ලැබෙන්න අත්දැකීමකි. පහන් සිල නිවී ගිය පසු දැල්ල ගිය දිශාව කිසිවකුට නොපෙනේ. එසේම රහත් වූ මා මියගියහොත් එයින් පසු මා මිතුරු මාරයාට මා නොපෙනේ. එනමුත් සිහියෙන් – නොමුලාව, දහම වඩාගෙන මිය ගියහොත් මා මිය ගිය පසු ඒ මොහොතේම මට මා පෙනේ. ඒ මම නැති බවයි.

( මෙම දහම් ලිපියෙන් මා තැත් කෙළේ පංච උපාදානස්ඛන්ධය හා පංචස්ඛන්ධය අතර ඇති වෙනස ඔබ සිත තුළ අවදිකරණයටයි.එය ඔබ අවබෝධ කරගන්නේ නම් එහි අරුත ඔබ සෝවාන්ඵලය සාක්ෂාත් කළ බුදු රජාණන්වහන්සේගේ දරුවකු-දැරියක බවයි)

Load More Related Articles
Load More By NightOwls
Load More In Opinion

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

Creative Activities for Children by Somalatha Subasinghe Play House

Lanka Children’s and Youth Theatre Foundation (LCYTF) or popularly known as Somalatha Suba…