Home Opinion “රාජ්‍ය බැංකු කොටස් වෙළඳපලට ගෙන ඒම ගැන කියන කතා” වලට පිළිතුරක්

“රාජ්‍ය බැංකු කොටස් වෙළඳපලට ගෙන ඒම ගැන කියන කතා” වලට පිළිතුරක්

0 second read
0
0
62
online-banking

පසු ගිය දා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට යෙදුණු අයවැයෙහි ඇතුළත් වඩාත් වැදගත් ආර්ථික හිතකාමී යෝජනා වලින් එකක් ලෙස අප දකින්නේ ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකු දෙකක් වන ලංකා බැංකුව සහ මහජන බැංකුව කොටස් වෙළඳපලේ ලැයිස්තුගත සමාගම් බවට පත් කිරීමට ගෙන ආ යෝජනාවයි. ලංකාවේ සාක්ෂරතාවය ශුභදායී තැනක තිබුණ ද මුල්‍ය සාක්ෂරතාවය අතින් ලංකාව සිටින්නේ ඉතාමත් පහළ මට්ටමක ය. මේ නිසා ම කොටස් වෙළඳපල තුළ සිදු වන්නේ කුමක්ද යන්න පවා බහුතරයකට හරිහැටි අවබෝධයක් නොමැත. මේ අයවැය යෝජනාව පිළිබඳව චෝදනා ඉදිරිපත් වන්නේ මෙවැනි පසුබිමක ය.
අප දන්නා පරිදි මේ යෝජනාව කාලයක පටන් සාකච්ඡාවට බඳුන් වෙමින් පැවතිය ද එය ප්‍රයෝගික කිරීමට පසු ගිය රජයන් සමත් වන්නේ නැත. ලංකාවේ බහුතරයක් දෙනා “රාජ්‍ය” යන වචනයට පවා දක්වන්නේ අසීමිත ආදරයකි. මේ හේතුව නිසා ම සියල්ලක් ම රාජ්‍ය වන්නේ නම් තමන් සුරක්ෂිත බව ඔවුහු සිතති. මේ ආකල්පය වෙනස් කර නො ගන්නා තුරු රට සංවර්ධනය කිරීමේ සිහිනය කල් දැමීමට සිදු වන බව අමුතුවෙන් කිව යුතු නැත. මේ යෝජනාවෙන් කොළඹ කොටස් වෙළඳපලට සහ රටේ ආර්ථිකයට ඇති වන යහපත සම්බන්ධයෙන් දේශපාලන කණ්ණාඩි ගලවා බැලිය යුතුය. මන්ද යත් සත්‍ය දැකගත හැකි වන්නේ එවිට බැවිනි.
වැඩි කොටස් ප්‍රමාණයක් රජය සතුව තබා ගනිමින් මේ රාජ්‍ය බැංකු ද්විත්වය කොටස් වෙළඳපලේ ලැයිස්තුගත කිරීමෙන් රජයට මෙම ව්‍යාපාර අහිමි නොවන බව සඳහන් කළ යුතුය. මහජනයා වෙත නිකුත් කරන කොටස් මිල දී ගැනීමට තැන්පත්කරුවන්ට පමණක් නොව විදේශ ආයෝජකයන්ට ද මං පෙත් විවර වන බැවින් විදේශ මුදල් රට වෙත ගලා ඒම ද සිදු වෙයි. මේ වන විට බැංකුවල ප්‍රතිලාභ පොලිය ලෙස පමණක් මහජනතාව අතරට ගියද මේවා ලැයිස්තුගත වීමෙන් පසු ලාභාංශ ලෙස ද ජනතාවට ප්‍රතිලාභ ලැබිය හැකිය.
මේ රටේ රාජ්‍ය බැංකු වත්කම් පදනමින් ඉදිරියෙන් සිටිය ද ලාභාදයීත්වය අතින් ඉදිරියෙන් සිටින්නේ පෞද්ගලික බැංකු ය. එසේ නම් මේවායේ වෙනස්කම් සිදු කිරීමෙන් ලාභදයීත්වය වැඩි කළ හැකිය යන තර්කය බිඳීමට කිසිවෙකුට නොහැකිය. එසේම ලැයිස්තුගත වීමෙන් අනතුරුව කාර්තුවෙන් කාර්තුවට තම ගිණුම් වාර්තා කොටස් වෙළඳපල වෙත ලබා දිය යුතුය. එමගින් ආයෝජකයන්ට පමණක් නොව තැන්පතුකරුවන්ට ද තමන්ගේ බැංකුවේ කාර්යසාධනය සම්බන්ධව දැනුවත් විය හැකිය. එමගින් මෙම රාජ්‍ය ආයතන වල ඉහළ විනිවිද බාවයක් සහතික කෙරෙනු ඇත. තව ද ලැයිස්තුගත සමාගම් අළලා කොටස් තැරව්කාර සමාගම් විසින් විවිධ මට්ටමේ පර්යේෂණ සිදු කරයි. ඒ අනුව මේ රාජ්‍ය බැංකු වල මුල්‍ය කාර්යසාධනය, අනාගත මුදල් ප්‍රවාහ සම්බන්ධයෙන් ස්වාධීන පාර්ශවයක් විසින් පර්යේෂණයන් සිදු කෙරෙන අතර ඒ පුරෝකථනයන් ඉතාම වැදගත් වනු ඇත.
මේවා ලැයිස්තුගත වීමෙන් අනතුරුව කිනම් රජයක් යටතේ වුවද කෙරෙන රාජ්‍ය මැදිහත් වීම් අවම වෙනු ඇතැයි විශ්වාස කළ හැකිය. එහිදී කොළඹ කොටස් වෙළඳපලේ නීති රීති වලට යටත් වන අතර කොටස්කරුවන්ට ප්‍රතිලාභ ලෙස ලබා ගත හැක්කේ ලාභාංශ පමණකි. කොටස් වෙළඳපල ඇත්තේ ව්‍යාපාර වලට ඕනෑ කරන ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ලීම උදෙසාය. ඒ අනුව මේ අපේක්ෂිත ලැයිස්තුගත වීමෙන් මේ රාජ්‍ය බැංකු ද්විත්වයට සැලකිය යුතු මට්ටමේ ප්‍රාග්ධනයක් ඒකරාශී කර ගැනීමට අවස්තාව ලැබෙන අතර ඒ මගින් අනාගත ලභාදයීත්වය වැඩි කර ගත හැකිය.
කොළඹ කොටස් වෙළඳපලේ මේ වන විට ලැයිස්තුගත වී ඇත්තේ සමාගම් 296 ක් වැනි සුළු ප්‍රමාණයකි. ඒ ප්‍රමාණය කොහෙත්ම ප්‍රමාණවත් වන්නේ නැත. කොටස් වෙළඳපලක් දියුණු වන්නේ එහි ලැයිස්තුගත සමාගම් වැඩි වන තරමට සහ ආයෝජකයන් වැඩි වන තරමට ය. මෙම රාජ්‍ය බැංකු ද්විත්වය ලැයිස්තුගත වීම කොළඹ කොටස් වෙළඳපල තවත් ශක්තිමත් වීමට හේතු වෙයි. එය රටේ ආර්ථිකයේ ශුභ ලකුණකි.

Load More Related Articles
Load More By NightOwls
Load More In Opinion

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

Creative Activities for Children by Somalatha Subasinghe Play House

Lanka Children’s and Youth Theatre Foundation (LCYTF) or popularly known as Somalatha Suba…