Home Personal Development 2017 ට ආයුබෝවන්

2017 ට ආයුබෝවන්

3 second read
0
2
3,446
llllllllll

සටහන – සහකාර කථිකාචාර්ය නාලක ජයසේන

වසරක් ගෙවී වසරක් ගතවන්නේ විශ්වයේ රිද්මය අපට පසක් කර දෙමිනි. කාලය සහ අවකාශය නම් දෙඉවුරු මැදින් ගලාබසිනා ජීවන ගංගාව නිරතුරු වෙනස් වෙයි. අලුත් වෙයි. ජනවාරි පළමුවනදා ජීවන දින දර්ශනය පෙරැළෙද්දී බොහෝ අය තම පසුගිය වසර දෙස සිංහාවලෝකනයක යෙදෙති. ඒ සමගම නව වසර සැලසුම් කරන්නටද, නැවුම් පැතුමන්ගෙන් ඉදිරි දොළොස්මස වෙත සුබවාදී හැඟුමක් තබාගන්නටද ඔවුහු අමතක නොකරති. ජීවිතය වනාහී තම මනසේ ප්‍රතිබිම්බයයි. තමන් සිතන පතන පරිදි තමා වෙත සුබ අසුබ ප්‍රතිඵල පෙරළා ලැබෙයි. එහෙත් මේ ලොව අපට පාලනය කළ නොහැකි බලයක්ද ඇත. ඒ සනාතනික සෞන්දර්ය වූ ස්වභාවධර්මයයි. නැතහොත් විශ්ව නීතියයි. (universal law) කෙසේ වෙතත් එය පාලනය කළ නොහැකිය යනුවෙන් දැක්වුවද ඒ යම්කිසි සීමාවකට යටත් වෙයි. ඒ අනුව ස්වභාවධර්මය අවබෝධ කරගත් අයකුට ස්වභාවධර්මය පාලනය කළ හැකිය. එයට සරල හේතුව අපිදු ස්වභාවධර්මයේම කොටසක් බැවිනි. එහෙත් ස්වභාවධර්මය මමත්වයෙන් ග්‍රහණය කරගැනීම හේතුවෙන් සාමාන්‍ය මනුෂ්‍යයා සතු ස්වභාවධර්ම ප්‍රතිබද්ධ ශක්‍යතාව මුකුලිතවැ ගොස් ඇත. කෙසේ නමුත් තම අධ්‍යාත්මයට සංවේදී වූ අයකුට එනම් තමාගේ සිත පුබුදුවාගත් අයකුට එය අරුමයක් නොවේ. 2018 වසරට මේ සුන්දර ශක්තිය සමග අවතීර්ණ වීමට හැකි වුවහොත් 2018 ඒකාන්තයෙන්ම අනුස්මරණීයවූද ආදරණීයවූද වර්ෂයක් වනවා සිකුරුය.

එකවරම කෙනෙකුට මෙකී චිත්ත ශක්තිය උද්දීපනය අසීරු විය හැකිය. එහෙත් ඒ වෙනුවෙන් ආරම්භයක් සටහන් කළොත් එය ජීවිතයේ ස්වර්ණමය සංධිස්ථානයක් වන්නේය. 2018 සමාරම්භය මෙකී ස්වයං පරිවර්තනයට කදිම මුහුර්තයක් නොවන්නේද? ආගම් ජාති ආදී අනේක භේදයකින් තොරව සිතක් සහ ගතක් ඇති සියලු මිනිසුන්ට මේ මාහැඟි නිර්මාණශීලී ගමනට එක්විය හැකිය. තම සිත තුළ ඇති මේ අපූර්ව ශක්තිය අවදි කරන්නේ කෙසේද යන සරල අභ්‍යාසයක් මෙහිලා දක්වන අතර, එහි ගුණාගුණ තමන්ටම නිශ්චය කරගත හැකිය. 2017 දෙසැම්බර් 31 රාත්‍රියේ මධුවිතින් මත්වෙමින්, කඨෝර සංගීතයෙන් නැටවෙමින්, නෙක නිසරු සාද තුළ හිනැහෙමින්, කැලැන්ඩර සංක්‍රාන්තිය ක්ෂණික සහ තාවකාලික ආස්වාදයකින් සමරනවාට වඩා, තම සිත සුපහන් කොට දිගුකාලීන ආත්මීය සුවපත්භාවයකට, බුද්ධිමය විප්ලවයකට ඔබේ සිත යොදන්න. තරුණ මනෝකායේ වින්දන – චින්තන ශක්තිය නව ලොවකට ආලෝකය විහිදාලනු ඇත.
පළමුව ඔබේ සිත සැහැල්ලුට පත්කරගත යුතුය. ඔබ යම් ආගමක් විශ්වාස කරන්නකු නම් තත් ආගමික වතාවත් වෙත යොමුවෙන්න. බොදුනුවකු නම් පහනක් දල්වන්න. පහන යනු චිත්ත ඒකග්‍රතාවට පහසු නිමිත්තක් සේම විශ්ව ශක්තිය ආකර්ෂණය කළ හැකි ප්‍රබල මෙවලමකි. (බුදු දහමට අනුව එය කසිණ භාවනා අරමුණක්ද වෙයි) බෞද්ධ පින්වතුන්ට ඒ මොහොතේ තිසරණ සරණ ගොස් මතු බුදුවන නාථ මෙත් බෝසතුන් ප්‍රධාන දේව මණ්ඩලයට පින් දීමට හැකි නම් ඒ මනසට නැවුම් ජීවයක් වනු ඇත- ඔබ කිසිඳු ආගමක් විශ්වාස නොකරන්නකු නම් ඔබේ ආශ්වාස ප්‍රස්වාස කෙරේ සිත යොමුකර සිත සැහැල්ලු කරගන්න. සැහැල්ලු සිතකට විශ්වයේ ශක්තිය වේගයෙන් ගලා එයි. සැහැල්ලුව යනු අන් කිසිවක් නොව සිහියයි. අනතුරුව තමා තුළම අධිෂ්ඨානයක් ඇති කරගන්න. “මගේ හදවතේ ඇති යහපත් උතුම් සිතුවිලි, මාගේ මනසට සහ ජීවිතයට ගෙන එන්නේ ශාන්තියක්මයි. මා තුළ හටගත් අව්‍යාජ හා අවංක සිතුවිලි මා වෙත උදා කළේ යහපතක්මයි. මා සතු මෙම ආශීර්වාදාත්මක ගුණය වර්ධනය වී මාගේ මනස සංතුෂ්ටිය සමග වේවා. මා අධිෂ්ඨාන කරනුයේ එළඹෙන්නාවූ නව වසරේදී මාගේ කුසලතා ශක්තිය මගේත් මට හිතවත් අහිතවත් මැදහත් සියලු දෙනාගේම හා ස්වභාවධර්මයේද යහපත පිණිස යොදාගැනීමට හැකිවේවා. ලෝකයද ජීවිතයද දෙකක් නොව ශක්තිමත් සිතුවිලි ජාලයක් ඇති කරැගෙන ක්‍රමිකව එය මනසින් විශ්වය පුරා පතුරුවාලන්න.

ඔබේ විශේෂ යහපත් ඉලක්කයක් වේ නම් එයද මේ සුබ නිමේෂයේදී සිහිපත් කරනු මැනැවි. මෙයින් ඔබේ ගත සිත ප්‍රබෝධවත් වන ආකාරය ඔබටම දැනෙනු ඇත. අධිමානසිකව ලබාගන්නා උසස් ධ්‍යාන ආදිය ලබාගන්නා ආධ්‍යාත්මවේදීන්ද මෙවැනි සරල මාවතකින්ය තම සිත පුරුදු පුහුණු කරනට ආරම්භ කරනුයේ. මෙය තනිව නොව සාමූහිකව කරන්නට හැකිනම්, එහි ප්‍රතිඵල විපුල වේ. මෙම ක්‍රමවේදයට අනුහුරු ක්‍රමවේද හීලින්ග් තෙරපි නමින් බටහිරද ක්‍රියාත්මක වෙයි. දෙසැම්බර් 31 වනදා එකම මොහොතක මෙවැනි ආධ්‍යාත්මික අභ්‍යාස කරන සමූහ කණ්ඩායම් ශ්‍රී ලංකාවේද ලෝකයේද සිටිති. මෙය ධනාත්මක චින්තනය වැනි ස්වයං මෝහන අවස්ථාවක් නොව ප්‍රායෝගිකව වැඩිය යුතු කර්මස්ථානයක් හෙවත් අරමුණකි. එන් එල් පී හෙවත් ස්නායු වාග්මය වැඩසටහන්කරණය නමැති මනෝවාග්විද්‍යාත්මක ක්‍රමවේදය මගින්ද උගන්වන්නේ ඔබේ සිහින, ඔබේ ස්නායු තුළට සම්ප්‍රේෂණය කොට ඒවා සැබෑ කරගැනීමටය- මෙම සද්ක්‍රියාවෙන්ද සිදුකරන්නේ එසේ ඔබේ අරමුණු ගතට-සිතට ඒකාත්මිකකරණයයි.

පරමාණුවේ පටන් මන්දාකිණිය දක්වාම ඇත්තේ එකම මූලපදාර්ථ සමූහයකි. බුදුදහමේ එය ශුද්ධාෂ්ඨකය නමින් හැඳින්වේ. විශ්වයට සාපේක්ෂව අපි නොගැණිය හැකි තරම් අංශු මාත්‍රයෙකි. එහෙත් එම දුහුවිල්ලක් බඳු මිනිසෙකුගේ සිතුවිල්ලකට විශ්වයේ චලන රටාවට පවා බලපෑම් කළ හැකිය. භූගෝලවිද්‍යාවේ එන සමනල ආචරණය නම් න්‍යාය මගින් දක්වන්නේ සමනලයකුගේ තටු සැලීම හේතුවෙන් සුළිකුණාටුවක් පවා ඇතිවීමේ සම්භාවිතාවක් ඇති බවයි. ලෝකයේ ඇති සියලු ශක්ති කලු සහ සුදු ලෙස විභේදනය කළ හැකිය. සත්ත්වයා තුළ රාග ද්වේශ මෝහාදී වංචනික ධර්ම කලු ශක්තිය නියෝජනය කරන අතර එයට ප්‍රතිවිරුද්ධ ධර්ම බලවේග සුදු ශක්තියට අයත් වේ. පෙනෙන දේට වඩා නොපෙනෙන දේම සුවිශාල මේ අනන්ත විශ්වය බඹයක් පමණ වූ තම සිරුර තුළට ආකර්ෂණය කරගන්නා ලොව දිනයි. එපමණක් නොව එබන්දකු ස්වභාවධර්මයේ භාග්‍යවන්ත සුජාත දියණියක, පුතකු වෙයි.

2018 නව වසරේදී අපි සැවොම තනි තනිව හා සාමූහිකව අධිෂ්ඨාන කරගත යුතුව ඇත්තේ සමස්ත ලෝකයේ ගිනි නිවාලන සිසිලසෙන් යුතු මනෝචිත්ත ශක්තිය අභිවර්ධනය කරගැනීමටයි. ඔබතුළ සිටින ඒ ආදරණීය ආධ්‍යාත්මික මිනිසාට 2017ක් වූ දෙසැම්බර් 31 වන තරු මියෙන මල් පිපෙන රාත්‍රියේදී කථා කරන්න. එවිට ඔබ ගැන මෙතෙක් ඔබවත් නොදැන සිටි රහසක් ඔහු ඔබට කියනු ඇත. මෙතෙක් කල් ඒ ආධ්‍යාත්මික ජීවියා සිටියේ ඔබ තුළම දැයි ඔබටම පුදුම හිතෙනු ඇත. මේ මනසට වෙන් වුණු සියවස බවද අමතක නොකරන්න. සියලු ලෝ සතට ප්‍රභාෂ්වර නව වසරක් වේවා!!! මේ වසරේ ස්වාභාවික විපත් හා මනු ගුණ බිඳ වැටීමෙන් ඇතිවන ආධ්‍යාත්මික ප්‍රහාර අවම වේවා!!! 2018 ජීවන චාරිකාව උත්තමවූද ප්‍රණීතවූද අකම්ප්‍යවූද එකක්මැ වේවා!!! ඒ පරම ආධ්‍යාත්මික සංහිඳියාව ඔබෙන් දුර නොවේවා !!!

Load More Related Articles
Load More By NightOwls
  • kites_in_the_sky_by_martinklekner-d6r6w3h

    උඩ යන සරුංගලේ, කියාදෙන කතන්දරේ

    සටහන – අමිල මුතුකුට්ටි ඉහළට යන්න හැමෝම කැමතියි. හැම කෙනෙක්ම රැකියාවට යන්නේ, තව තවත් …
  • කට වට කර වැට බැදීම

    සටහන – අමිල මුතුකුට්ටි මානව සන්න්නිවේදනයේ තවත් එක් ප්‍රබල සන්නිවේදන මාධ්‍යක් වශයෙන් …
Load More In Personal Development

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

Creative Activities for Children by Somalatha Subasinghe Play House

Lanka Children’s and Youth Theatre Foundation (LCYTF) or popularly known as Somalatha Suba…